වැල්ලවත්තේ සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රස්ථානයට විනාඩි විස්සෙන් ළඟා වීමට හැකියාව ඇති මගී බෝට්ටු සේවාව කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේද එදිනෙදා ගමන් පහසුකම් සපයා ගැනීමට සුදුසු ආරක්ෂිත මාර්ගයක් යයි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) එම්.ආර්.ඩබ්. සොයිසා මහතා පැවසීය. මේ දිනවල එම බෝට්ටුවට සේවාව ඔස්සේ මගින් හයදෙනා බැගින් දුරස්තභාවය රැක ගනිමින් ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
එල්.ආර්.ඩී.සී. බෝට්ටු සේවය ලෙස නම් කර ඇති මෙම මගී බෝට්ටු සේවයෙන් දෙනිකව පාසල් දරුවන් සහ විවිධ සේවා ස්ථානයන් වෙත යන මගීන් ගමන් කරන අතර, ඔවුන් වෙනුවෙන් උදෑසන 6.30 සිට සවස 7.00 දක්වා ගමන් වාර දහයකින් යුතු බෝට්ටු සේවාවක් යොදවා ඇත. සාමාන්‍යයෙන් වැල්ලවත්ත කලාපයේ සිට බත්තරමුල්ල දෙසට පෞද්ගලික රථයකින් ගමන් කළද අධික වාහන තදබදය හේතුවෙන් එම ගමන් මාර්ගය සඳහා විනාඩි 45ක් කාලය වැය වන අතර, මෙම බෝට්ටු සේවාව මගින් ඕනෑම අයෙකුට විනාඩි පහළොවක්, විස්සක් අතර කාලයකින් බත්තරමුල්ලට ළඟා වීමේ හැකියාව ඇති බව ඒ මහතා පැවසීය.
කොළඹ ප්‍රදේශය පුරා දිනපතා උදෑසන පවතින අධික මාර්ග තදබදයට විසඳුමක් ලෙස ආරම්භ කරනු ලැබූ මෙම බහු මගී බෝට්ටු සේවාව මේ වනවිට කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේද ගමන් පහසුකම් සපයා ගැනීමට විශේෂිත වූ ආරක්ෂිත ප්‍රවාහන සේවයක් බවද ඒ මහතා පැවසීය. එක් මගියෙකුට රුපියල් සියයක් වැනි මුදලක් වැය කරමින් නවමු අත්දැකීමකට මුහුණ දෙමින් ගමන් කළ හැකි මෙම සේවාව කෝවිඩ්-19 නීතිවලට අනුව වඩා කාර්යක්ෂමව සිදුකිරිමට මේ වනවිට පියවර ගෙන ඇති බවද එම්. ආර්.ඩබ්. සොයිසා මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම මගී බෝට්ටු සේවා පෞද්ගලිකව වෙන් කර ගැනීමටද හැකියාව ඇති බවද සඳහන් කළ හෙතෙම, මෙම සේවාව පළපුරුදු නාවික හමුදා විශ්‍රාමික නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන හෙයින් ආරක්ෂාව පිළිබඳ බිය විය නොමැති බවද සඳහන් කළේය. වැල්ලවත්තෙන් ගමන් ආරම්භ කොට බත්තරමුල්ල දක්වා යන ගමනේදී මගියෙකුට අවශ්‍ය නම්, නාවල ප්‍රදේශයෙන් ඇතුළුවිය හැකි වන ආකාරයට ඇති තොටුපොළෙද ගොඩබිමට සේන්දු විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
-රේඛා තරංගනී ෆොන්සේකා-
0 Comments