ampara-incident

අවුරුදු 80ක් වයස මව රැක බලා ගැනීමට සිය වැඩිමහල් සහෝදරිය රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වුවත් එම මුදල ලබා නොදුන් නිසා මව තවදුරටත් රැකබලා ගැනීමට නොහැකි බැවින් ඇය සහෝදරීයට බාර දෙන බව කියමින් පුද්ගලයකු අම්පාර කොට්ඨාසය ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය කියයි.   අසුහැවිරිදි මව උහන පොලිස් වසමේ ගම්මානයක සිය දියණියකගේ රැකවරණය ලබමින් වසර කිහිපයක් තිස්සේ ජීවත් වී ඇත. තම මවට තවදුරටත් ඇයගේ අම්මා රැක බලා ගැනීමට නොහැකි බවත් ඒ නිසා ආච්චි අම්මාව මාමාට බාර දෙන බවත් කියා උහන පොලිසියට මුලින්ම පැමිණිල්ලක් කර තිබුණේ  එම මිත්තණියගේ මිණිබිරියකි.




මෙවැනි පැමිණිල්ලක් කිරිමෙන් පසු 80 හැවිරිදි මව ඇයගේ දියණිය හා මිණිබිරිය විසින් එම මවගේ පුතකුට බාර දී ඇති බව පොලිසිය පවසයි. තමාගේ 80 හැවිරිදි මව රැක බලා ගැනීමට බාර ගත්තේ අක්කා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙසට පොරොන්දු වු නිසා බවත් කියමින් අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට එම මවගේ පුත්‍රයා පැමිණිලි කර ඇත.පොරොන්දු වූ පරිදි එම මුදල ලබා නොදුන් නිසා මෙවැනි පැමිණිල්ලක් කරන බව ද ඔහු පැවැසී යැයි පොලිසිය කියයි.. මවට අයත් ඉඩමක් උහන සිටින අක්කා ලක්ෂ 02 ක මුදලකට විකුණා තිබෙන බවත් පැමිණිලිකරු පොලිසියට පවසා තිබෙන බව කියති.


පොරොන්දු පරිදි ලක්ෂයක මුදල ලබා නොදුන්නොත් මව යළි අක්කාට බාර දෙන බවත් එම පුද්ගලයා වැඩිදුරටත් පවසා තිබෙන බව දැන ගැනීමට ඇත.  මේ පැමිණිල්ල වැඩිදුරටත් විභාග කිරීමට අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් උහන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත යොමුකර තිබේ. අසුහැවිරිදි මෙම කාන්තාවට එක් පුතෙකු හා දියණියන් හතර දෙනකු සිටින අතර සැමියා මියගොස් ඇති බව පොලිසිය කීය. මව බලා ගැනීම වෙනුවෙන් මල්ලීට ලක්ෂයක මුදලක් ගෙවීමට හැකියාවක් තමාට නොමැති බව කාලයක් ඇය (මව) රැකබලාගත් දියණිය පවසන බව පොලිසිය කියයි.




මවට අයත් ඉඩම විකුණා ලබාගත් ලක්ෂ 02  ක මුදල ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට වැය වූ බව ඇය (දියණිය) උහන පොලිසියට පවසා තිබෙන බව ද පැවසේ. අනෙක් දරුවන් ද වයෝවෘද්ධ මව රැක බලා ගැනීමට නොහැකි බව පවසා ඇති බව පොලිසිය කීය. උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාගේ උපදෙස් මත මෙම වයෝවෘද්ධ මව හා ඇයගේ දරුවන් පස් දෙනා පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කිරීමට එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිට කාන්තා පොලිස් සැරයන් ෂර්මාලා ගාල්ලගේ (694) මහත්මිය කටයුතු යොදාගෙන යයි.


- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -