anuradapura-sampath-bank
අනුරාධපුර නව නගරයේ සිව්වන පටුමගේ පිහිටි සම්පත් බැංකු ශාඛාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයට මුදල් තැම්පත් කිරීමට පැමිණි පෞද්ගලික ආරක්ෂක නිලධාරින් හා කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් ඊයේ සිදු විය.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික සමාගමක ආරක්ෂක අංශ නිලධාරින්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර රුපියල් ලක්ෂ 120ක ටෙලර් යන්ත්‍ර සේප්පුවක් කොල්ලකෑමට උත්සහ කළ නාඳුනණ කොල්ලකරුවන් දෙදෙනෙකු සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් (6 වැනිදා) උදෑසන ආරක්ෂක අංශ නිලධාරියෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.



වෙඩි හුවමාරුවෙන් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා තිබෙන අතර කොල්ලකරුවන් යතුරුපැදියේ නැගී පලාගොස් තිබේ.ආරක්ෂක නිලධාරින්ගේ ප්‍රහාරයෙන් කොල්ලකරුවෙකුත් තුවාල ලබා ඇති බවට සැකමතු වී තිබෙනා බව පරික්ෂණ සිදුකරන පොලිසිය පවසයි. ඊයේ (6 වැනිදා) උදෑසන 6.30ට පමණ සිද්ධිය සිදුව තිබෙන අතර ආරක්ෂක නිලධාරින් අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි සමග අදාළ බැංකුව ඉදිරිපිට වෑන් රථය නවතා යන්ත්‍රයේ කුටියට මුදල් තැම්පත් කිරීමට සූදානම් වන විට කොල්ලකරුවෙක් එහි පැමිණ ආරක්ෂක නිලධාරියා අතවූ කුඩා සේප්පුව පැහැර ගැනීමට උත්සාහ කර පසුව කොල්ලකරුවෙක් ආරක්ෂක නිලධාරියාගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර ඇති අතර වහාම ක්‍රියාත්මකවූ ආරක්ෂක නිලධාරියකු රිපීටර් වර්ගයේ අවියෙන් යතුරු පැදියෙන් පලායෑමට උත්සහ කළ කොල්ලකරුවන් දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ලකර තිබේ.

එම අවස්ථාවේ කොල්කරු පිස්තෝලයකින් ආරක්ෂක නිලධාරින් දෙසට වෙඩිතබා පලාගොස් තිබෙනා අතර කොල්ලයට පැමිණි සැකකරුවන් මුහුණු අවරණය වන පරිදි ආරක්ෂිත හිස් වැසුම් පලඳාගෙන සිට ඇති බව පොලිසිය පවසයි. පොලිසිය අනුරාධපුර නව නගරයේ ඇති ආරක්ෂිත කැමරා කිහිපයකින්ම ඔවුන් පැමිණි අයුරු හා පලායන අයුරු නිරික්ෂණය කර තිබෙනා අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

 බුද්ධික මහේෂ් - කේ.එම්.එස්. කරුණරත්න