apannaka-kuliyapitiya-sri-lanka-russia-miss-world

රුසියාවේ පැවැති ‘2021 මිස් සැෆායර් වර්ල්ඩ්’ රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට, ශ්‍රී ලංකාවේ අපණ්නකා කුලියාපිටිය සමත් වූවාය. ඇය උසස් අධ්‍යාපනය හදාරමින් රුසියාවේ පිටර්ස්බර්ග්හි දිවිගෙවන අතර, වෘත්තියෙන් ගුරුවරියකි.





‘මිස් සැෆායර් වර්ල්ඩ්’ රුසියාවේ පමණක් නොව, ඇමරිකාව, එක්සත් රාජධානිය වැනි රටවල ද වාර්ෂිකව පවත්වනු ලබයි. 2021 වසර සඳහා එය පැවැත්වූයේ රුසියානු කලාපයේය. යුක්‍රේනය, ජෝර්ජියාව වැනි රටවල් නියෝජනය කරමින් සුරූපිනියන් සහභාගී කරවා ගනිමිනි.

පසුගිය වසරේ නොවැම්බරයේ ආරම්භ වුණු මෙම තරගාවලියේ පළමු වටයෙන් අවසන් 15 දෙනා අතරට තේරීමට, අපණ්නකා සමත් වූවාය.

තරගාවලියේ අවසන් වටය සඳහා තෝරා ගත් තරගකාරිනියන් අතර කළු සමක් සහිත තරගකාරියක වූයේ අපණ්නකා පමණක් වීම ද විශේෂත්වයකි. ‘2021 මිස් සැෆායර් වර්ල්ඩ්’ තරගාවලියේ ජයග්‍රාහිකාව තේරීමේ අවසන් තරගය පැවැත් වූයේ පසුගිය අප්‍රේල් 24 වැනිදාය. එහිදී ප්‍රථම ස්ථානය රුසියානු ජාතික තරගකාරිය ෆයානා ට හිමිවිය.

‘මේ තරගාවලියේ ස්ථානයක් ලැබේවියයි මා සිතුවේ නැහැ. තරගයට සහභාගී වූ සෑම යුවතියක්ම රුසියානු බස කතා කළා. මට එය බැහැ. ඒ නිසා මට ඉංග්‍රීසියෙන් කතා කරන්න විශේෂ අවසරයක් සංවිධායකයෝ ලබා දුන්නා. හැමදේටම මට ශක්තියක් වුණේ මගේ අම්මා, තාත්තා.ලංකාවේදී මට අනන්ත ප්‍රශ්න තිබුණා. හිත් රිදීම් බොහොමයි. මගේ සම අඳුරු වැඩියි. බොහෝ දෙනා මට කීවේ සම සුදු කර ගන්න බලන්න කියලයි. ඒත් මා කැමති වුණේ නැහැ. මගේ ස්වභාවික අඳුරු පෙනුමට මා කැමතියි. එයයි මගේ අනන්‍යතාව. මේ තරගාවලියට මා තෝරා ගැණුනේ මගේ පැහැය සුවිශේෂී නිසයි. පෙනුම වෙනස් කර ගනිමින් ජයග්‍රහණයක් ලබන්න මාගේ කැමැත්තක් නැහැ.‘
ජයග්‍රහණයෙන් අනතුරුව රුසියාවේ සිට අදහස් දැක්වූ අපණ්නකා පැවැසුවාය.


(ලු‍සිත ජයමාන්න - රුසියන් මාධ්‍ය ඇසුරිනි )