ඇස්ට්‍රසෙනෙකා එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලෙස ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳ රුසියානු අනුමැතියක් තිබේ ද? යන්න තවම ප්‍රශ්නකාරීය.

ඔක්ස්ෆර්ඩ් සරසවිය හා ඇස්ට්‍රසෙනෙකා ආයතන මෙම එන්නත් මිශ්‍ර කිරිමේ අධ්‍යනය සඳහා රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා තිබූ අනුමැතිය ලබාදීම එම අමාත්‍යංශයේ ආචාරධර්ම කමිටුව ප්‍රතික්ෂේප කර තිබේ.



ඒ පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදී දෙවන මාත්‍රාව ලෙස ස්පුට්නික් V එන්නත ලබාදීමේදී එහි ආරක්ෂාව සහ සාර්ථකභාවය පිළිබඳ ප්‍රමාණවත් දත්ත අදාළ ආයතන තමන් වෙත ලබා නොදුන් බව පවසමිනි.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, ඇස්ට්‍රසෙනෙකා හා ස්පුට්නික් V එන්නත් සඳහා භාවිත කරන වෛරසයේ වාහකය වෙනස් බවටයි.

කෙසේ වෙතත් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ, ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ඇස්ට්‍රසෙනිකා එන්නතේ දෙවනි මාත්‍රාව ලෙස ලබාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සුදුසු බවට‌ ඊයේ (28) රැස් වූ විශේෂ තාක්ෂණික කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශයට නිර්දේශයක් ලබාදී ඇති බවයි.



    ”ඔවුන් නිර්දේශ කරනවා, ස්පුටිනික් සහ ඇස්ට්‍රසෙනෙකා එන්නත් දෙකම ක්‍රියාකරන්නේ එකම ආකාරයට නිසා හා ඉතාම සමීප බවක් දකින නිසා ඒක ලබාදෙන්න පුළුවන් කියන නිර්දේශය ඔවුන් ලබාදීලා තියනවා”

මහාචාර්යවරයා පැවසුවේ, ඒ් පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසට නිර්දේශය ලැබී ඇති බැවින් ඒ් පිළිබඳවත් අවධානය යොමුව ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රශ්න කර සිටින්නේ, එන්නත් නිෂ්පාදනය කළ සමාගම්වල විශේෂඥයින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් හෝ මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොදෙන අවස්ථාවක ඊට වඩා ලොකු විශේෂඥ කමිටු තිබේ ද යන්නයි.

    ”ස්පුට්නික් දීපු සමාගමත් කියනවා අපට තාම හරියට කියන්න බැහැ කියලා, ඊළඟට ඇස්ට්‍රසෙනෙකා හදපු සමාගමත් කියනවා අපට ඒක තාම කියන්න බැහැ කියලා ස්පුට්නික් එන්නතේ සමාගමේ විශේෂඥයොන්ට වඩා ඇස්ට්‍රසෙනෙකා සමාගමේ විශේෂඥයන්ට වඩා ඊටත් වඩා ලොකුයිනේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෝ ඒගොල්ලොත් මොකුත් කියන්නේ නෑ තාම, ඒ ගොල්ලන්ටත් වඩා ලොකු විශේෂයෝ තාක්ෂණික කමිටු ලංකාවේ ඉන්නවා කියලා තමයි ආණ්ඩුව කියන්නේ”



ඔහු වැඩිදුරටත් පැවසුවේ, දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ඉතිරි කර නොගෙන දේශපාලන වාසි ගැනිමේ අරමුණින් ක්‍රියා කළ නිසා අද මෙවන් තත්ත්වයක් උද්ගත වූ බවයි.

    ”එන්නත ගෙනාවා බාගෙට ගැහුවේ බාගේ තියාගත්තේ නෑ ගහලා දැම්මා දේශපාලන වාසි ගන්න අතනයි මෙතනයි හැම තැනම ආණ්ඩුවේ දේශපාලන තීන්දු ලෝක සෞඛ්‍ය සංවිධානයේ බල්ලට ගණන් ගන්නේ නෑ”