chamalsha-al-arts

''ඇත්තටම මට කිසිම මෙවැනි ස්ථානයක් ලැබෙයි කියලා හීනයකින්වත් සිතුවේ නැති දෙයක්. මට ඒ ගැන තියෙන සතුට කියා නිම කිරීමට නොහැකියි" යැයි මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගයෙන් කලා අංශයෙන් දිවයිනෙන්ම පුථම ස්ථානය දිනා ගැනීමට සමත් දෙහිවල ප්‍රේස්බිටිරියන් බාලිකා ජාතික පාසලේ  චමල්කා සෙව්මිණි සිසුවිය පැවසුවාය. ඇය මෙසේ පැවැසුවේ මෙම ජයග්‍රහණය වෙනුවෙන් මූලිකවම විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට තුති පුදන්නට ඊයේ 5 වැනිදා පාසලට පැමිණි අවස්ථාවේදීය එහිදී ඇය මෙසේද කීවාය. ''මේ ජයග්‍රහණය ලැබීමට හැකි වුණේ මගේ අම්මා තාත්තා ඇතුළු පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් විශාල කැපවීමක් කරලා අප විභාගයට සූදානම් කළ නිසා කියන්න පුළුවන්. ඒ නිසා කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ඉසෙඩ් අගය 2.8319ක් ලබා දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබාගන්න හැකි වුණා.

පසුගිය වසර කොවිඩ් වසංගතයත් සමග විභාගය අවස්ථා කිහිපයකදීම කල් යමින් තිබුණා. ඒ නිසා අපගේ විභාග මානසිකත්වය ද පහළ යන්න නොදී සියලු සෞඛ්‍යාරක්ෂිත නීතිරීතිවලට අනුව රජය පසුගිය ඔක්තෝබර්වල මේ විභාගය පැවැත්වීම නිසා අද මේ ප්‍රතිඵල ලබාගන්නත් හැකි වුණා. ඒ අතර පියා රියැදුරකු ලෙස ස්වයං රැකියාවක නිරත වෙමින් අප පවුලේ අයියාගේත්, නංගීගේත් නිසි ලෙස අඩුපාඩු නැතිව පාසල් කටයුතු ගැන සොයා බැලුවා. අම්මා ද මේ පාසලේ ආදි සිසුවියක ලෙස නිවසේ සිට මා හට නිසි මාර්ගය කියා දුන්නා. මා අනෙක් සිසු සිසුවියන් කාටත් කියන්නේ,අධිෂ්ඨානයක් ඇතිව නොසැලී අභීතව යමින් නිසි පරිදි පාසල් කටයුතු කරගෙන ගියහොත් අභියෝග සියල්ලක්ම ජයග්‍රහණය කිරීමට හැකි වෙනවා කියලයි'' මෙහිදී විදුහල්පතිනි එස්.කේ.සි. මුතුනායක මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.''මාගේ කාලයේ මෙවැනි සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක් අප පාසලට ලැබීම ගැන මා ඉතාම සතුටු වෙනවා. කොවිඩ් වසංගතය හමුවේ වුවත් විභාග කාලයේ සෑම දිනකම පාසලට පැමිණ ආචාර්ය මණ්ඩලය ද සහභාගි කරවාගෙන පාසල් භූමිය පූර්ණ සෞඛ්‍යාරක්ෂිත නීතිරිති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් විභාගය අවසානය දක්වාම සිසුන් වෙත ශක්තිය ලබාදෙමින් ධෛර්යමත් කළ නිසා දිවයිනෙන්ම කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබාගැනීම අප පාසලට ලත් ගෞරවයක් ද වෙනවා."

 (දෙහිවල එච්.එම්. ධර්මපාල)