කළුතර මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියකගේ නිල නිවසට හොර රහසේ ඇතුළු වී ඇයගේ මුදල් පසුම්බිය සොරාගෙන පලායමින් සිටි බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු වෛද්‍යවරිය ලුහුබැඳ ගොස් රෝහල් ආරක්ෂක අංශ නිලධාරින්ගේ ද සහාය ඇතිව අල්ලාගෙන දකුණු කළුතර පොලිසියට භාර දී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.සැකකාර හිටපු පොලිස් කොස්තාපල්වරයා සොරාගත් මුදල් පසුම්බියේ ඒ අවස්ථාවේ තිබී ඇත්තේ රුපියල් 500ක මුදලක් පමණක් යැයි පොලිසිය කියයි.
 
එම මුදල් පසුම්බිය ද සැකකරු ළඟ තිබී පොලිස් භාරයට ගෙන ඇත. කළුතර මහ රෝහලේ සේය කරන මෙම වෛද්‍යවරියගේ නිල නිවසට පසුගිය සිකුරාදා (30) දහවල් කාලයේ ඇතුළු වූ පුද්ගලයකු එම නිවසේ තිබූ වෛද්‍යවරියට අයත් මුදල් පසුම්බිය සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි.මේ බව දුටු වෛද්‍යවරිය ද පලා ගිය පුද්ගලයා පසුපස 'ඔන්න හොරෙක්' යැයි පවසමින් ලුහුබැඳ ගොස් ඇති බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. රෝහල් ආරක්ෂක නිලධාරින් ද මේ අවස්ථාවේ ක්‍රියාත්මකවී ඇත.



මුදල් පසුම්බිය සොරාගෙන පලායමින් සිටි පුද්ගලයා වෙද්‍යවරිය විසින් රෝහල් ආරක්ෂකයගේ ද සහාය ඇතිව අල්ලාගෙන පසුව දකුණු කළුතර පොලිසියට භාරදෙනු ලැබ ඇත. අල්ලා භාර දුන් පුද්ගලයා පසුව පොලිස් අත්අඩංගුවට ගත් අතර වැඩිදුර පරික්ෂණ පැවැත්වීමේ දී එම පුද්ගලයා හිටපු පොලිස් කොස්තාපල්වරයකු බවට තොරතුරු අනාවරණය විණි යැයි ද පොලිසිය කීය. අත්අඩංගුවට ගත් සැකකරු මොරොන්තුඩුව පොලිස් වසමේ පදිංචි අවුරුදු 54ක් වයස අයෙකි. දකුණු කළුතර පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

 (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)