මඩකලපුව පෙරියකල්ලාරු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් සඳහා ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව අවලංගු කළ බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.මයුරන් ඊයේ (24 වැනිදා) පැවසීය.
 




මේ අනුව ඊයේ උදෑසන සිට රෝගීන්ට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව වෙනත් කොන්ත්‍රාත් පාර්ශ්වයක් වෙත ලබා දුන් බවද වෛද්‍යවරයා කීය.

එම ප්‍රතිකාර මධ්‍යස්ථානයට මාස හයකට අධික කාලයක සිට ආහාර සපයූ කොන්ත්‍රාත් ආයතනය සෑම ආහාර වේලකින්ම ගසා කෑමක් සිදුකර ඇතැයි දෙමළ ජාතික සන්ධාන මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් පෙරේදා (23 වැනිදා) කරන ලද අනාවරණය මත මෙම පියවර ගෙන ඇත.

රෝගීන් 150 ක් ප්‍රතිකාර ලබන මෙම මධ්‍යස්ථානයේ එක් රෝගියෙකුගේ උදෑසන, දිවා සහ රාත්‍රී ආහාර වෙනුවෙන් රජය රුපියල් 750 ක් වෙන්කර තිබේ. නමුත් එකදු ආහාර වේලක් හෝ රුපියල් 250 ක් තරම් නොවටින ප්‍රමිතියෙන් ලබා දී තිබිණි.

දෛනිකව මෙහි රෝගීන්ගේ ආහාර වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ දොළොස් දහසක (112000) මුදලක් ලබාගෙන තිබෙන මෙම කොන්ත්‍රාත් ආයතනය මාස හයක කාලයක් තුළ මේ වෙනුවෙන් රුපියල් කෝටි 15 කට අධික මුදලක් ලබාගෙන තිබිණි.
එෆ්. අස්ලම්