කෝවිඩ් සමග ජීවත් විය යුතු බවට තේමාව කර ගත් ක්‍රමවේදය වර්තමානයට නොගැළපෙන බවත්, මේ නිසා කෝවිඩ්-19 තුරන් කිරීමට ආණ්ඩුව කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. රෝහල් පද්ධතියට දරාගත නොහැකි ලෙස මේ වනවිට දෙනිකව රෝගීන් වාර්තා වන බවත්, කෝවිඩ්19 තත්ත්වය රටේ ආර්ථිකයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට ප්‍රවාහනයට හා ජන ජීවිතයට විශාල ලෙස බලපා තිබෙන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
කෝවිඩ්-19 තත්ත්වය පාලනය කිරීමට ඉන්දියාව ඇතුළු විදේශවල සිට පැමිණෙන අනවශ්‍ය පුද්ගලයන් මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා තීන්දු තීරණ ගත යුතු බවද ඒ මහතා පවසා සිටියේය. මීට අමතරව දෙනිකව සිදුකරන පී.සී.ආර්. පර්ෂණ ධාරිතාව ඉහළ දමා රෝගීන් හඳුනා ගෙන ඔවුන්ව ප්‍රතිකාර ලබාදිය යුතු බවත්, ආශ්‍රිතයන් නිවැරදි ලෙස නිරෝධායනයට ලක් කළ යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය. කෝවිඩ්-19 රෝගීන් හඳුනා ගත් පසු අදාළ ප්‍රදේශ කඩිනමින් හුදෙකලා කිරීමට තීරණය කළ යුතු බවත්, මුහුණු ආවරණ පැලඳීම, දුරස්ථභාවය තබාගැනීම හා දෑත් සේදීම් පිළිබඳ ජනතාව තව තවත් දැනුවත් කළ යුතු බවත් ඒ මහතා පැවසීය.
කෝවිඩ්-19 තුරන් කිරීම සඳහා රට තුළ ඉලක්ක ගත වැඩපිළිවෙළක් දියත් කළ යුතු බවත්, එසේ නොමැතිව කෝවිඩ්-19 සමග ජීවත් වීමේ සංකල්පය මත තවදුරටත් රට ඉදිරියට ගමන් කළ නොහැකි බවත් ජයන්ත බණ්ඩාර මහතා පවසා සිටියේය.
එච්.අයි. තුෂාර
0 Comments