ජපානයේ රැඳවුම් කඳවුරක රැදී සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක වන රත්නායක ලියනගේ විශ්මා සඳමාලි නමැති තරුණිය ඉකුත්දා මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජපාන පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමුව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. ජපානයේ රැඳී සිටින සරණාගතයන් සඳහා වන සංක්‍රමණ නීතිය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත් විවාදයේදී අදාළ ශිෂ්‍යාව සම්බන්ධයෙන් ජපාන පාර්ලිමේන්තුවේදී මේ බව අවධානය යොමුව ඇතැයිද 

එම තානාපති ආරංචි මාර්ගවලින් පැවසේ.  එම ලාංකික සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වූ අධිකරණ වාර්තාවේ  මරණයට හේතුව නිශ්චිතව සඳහන්කර නොමැති බවද ජපාන පාර්ලිමේන්තුවේදී පෙන්වාදී ඇත.

එම ශිෂ්‍යාව මියයෑමට හේතුව ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම බවත්, දින නියමයක් නොමැතිව පුද්ගලයන් රඳවා තබාගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් එරට විපක්ෂය විසින් ජපාන පාර්ලිමේන්තුවේදී පෙන්වාදී ඇති බව වාර්තා වේ.  ජපාන රජය හඳුන්වා දී ඇති නව සංක්‍රමණ නීති පනත් කෙටුම්පත මගින් ද සරණාගතයන්ගේ ගැටලුවට නිසි විසඳුමක් නොලැබෙන බැවින් සරණාගතයන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වාදී තිබේ.


මේ අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද අදාළ ශ්‍රී ලාංකික ශිෂ්‍යව මියයෑම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇතැයිද සඳහන් වේ . වීසා කාලය ඉක්මවීම හේතුවෙන් පිටුවහල් කිරීමේ නියෝගයක් ලබා සිටි 33 හැවිරිදි අදාළ ශිෂ්‍යාව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට රඳවා තැබීමේ කඳවුරක සිටියදී ඉකුත් මාර්තු 06 වැනිදා ජීවිතක්ෂයට පත්වී තිබුණි. මියයෑමට පෙර පසුගිය ජනවාරි මස 6වන දින සිට තමාට උදරාබාධ තත්වයක් ඇති බවට ඇය විසින් දැනුම්දී තිබියදී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇතැයි සඳහන්ය.


 තිළිණි ද සිල්වා