පී.සී.ආර්. පරික්ෂණයට ඉදිරිපත්වීම මගහැර ගොස් සිටි දෙදරු පියකුගේ මළසිරුර මොරගහහේන, අමුපිටිය ප්‍රදේශයේ වෙල්යායක ඇළ මාර්ගයක පාවෙමින් තිබියදී ඊයේ (2) හමුවූ බව මොරගහහේන පොලිසිය කියයි.  මෙලෙස මියගොස් තිබුණේ කුඩාඋඩුව, මහඋඩුව, නාගලකන්ද නව වන පටුමග පදිංචිව සිටි මද්දුමගේ දොන් රත්නසිරි (52) යන අයයි. මෙම මියගිය පුද්ගලයාගේ බිරිඳට අරමනාගොල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවිකාවක වන අතර ආයතනය මගින් කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී ඇයට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට ඉකුත් 28 වැනිදා අනාවරණය වී තිබූ බව පොලිසිය කියයි.

ඒ හේතුවෙන් ඇයගේ සමීප ආශ්‍රිතයන් වන සැමියා හා දරු දෙදෙනා ද නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කර පී.සී.ආර්. පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අංශ මගින් පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි. නීති විරෝධී මත්පැන් පානයට තදින් ඇබ්බැහිව සිටි මියගිය පුද්ගලයා සෞඛ්‍ය උපදෙස් නොතකමින් මත්පැන් පානය කිරීම සඳහා එදින සිට වරින් වර නිවසින් බැහැරව ගොස් තිබූ අතර පී.සී. ආර්. පරීක්ෂණයට ඉදිරිපත් නොවූ ඔහු පිළිබද ප්‍රදේශයේ ජනතාවගෙන් පොලිසියට ලද පැමිණිලි කීපයක් අනුව එම පුද්ගලයාට කිහිප වරක් අවවාද කිරීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පෙරේදා (1) සවස නිවසින් බැහැරව ගිය පුද්ගලයා ඊයේ 2 දින තෙක් නිවස වෙත නොපැමිණ තිබූ අතර අමුපිටිය ප්‍රදේශයේ වෙල්යායකට ගිය පුද්ගලයකුට දුඟදක් දැනී ඒ පිළිබඳ විමසිලිමත් වීමේදී ඒ ආසන්නයේ වෙල්යායක ඇළ මාර්ගයක මළ සිරුරක් තිබුණු දැක ඒ පබව දැනුම් දුන් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. මියගිය පුද්ගලයාගේ මළ සිරුර පී.සී. ආර්. පරික්ෂණයකින් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා පැවසීය.