නෞකාවලට සේවා සපයන පෞද්ගලික නාවික නියෝජිත ආයතනයක් නෞකාවකට ලබාදීම සඳහා රැගෙන ගිය ගිනි අවි 14ක්, උණ්ඩ 2400ක්, ආරක්ෂිත ඇදුම් කට්ටල, පතොරම් ඇතුළු උපකරණ මුහුදට වැටී අතුරුදන් වී ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි. මෙම ගිනි අවි ඇතුළු උපකරණ නාවික නියෝජිත ආයතනයේ සේවකයන් විසින් ගාල්ල වරායේ සිට බෝට්ටුවකින් නෞකාවට ලබාදීමට යාමේ දී ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 06ක් පමණ දුරදී මුහුදට වැටි ඇතැයි පොලිසිය පවසයි.  බෝට්ටුවේ මුහුදු ආරක්ෂකයන් තිදෙනකු, නාවික භටයකු හා නැව් නියෝජිත  ආයතනයේ සේවකයන් 04 දෙනකු ගමන් කර ඇතැයි ද වරාය පොලිසිය සඳහන් කරයි.





නෞකාව ඉන්දුනිසියාවේ සිට ස්පාඤ්ඤය දක්වා යාත්‍රා කරමින් තිබිය දී නෞකාවට ආරක්ෂාව සැපයීම සඳහා මුහුදු  ආරක්ෂකයන් තිදෙනකු ඇතළු ආයුධ නෞකාව වෙත බෝට්ටුවකින් රැගෙන ගොස් ඇත. මුහුදු ආරක්ෂකයන් තිදෙනා නෞකාවට ගොඩවී ඇති අතර පෙට්ටිවල ගිනි අවි ඇතුළු උපකරණ බහා තිබි ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි. දැලක් වැනි උපකරණයකින් ගිනි අවි ඇතුළු උපකරණ නෞකාවට ලබා දීමට යාමේ දී ඉන් කොටසක් මුහුදට වැටි අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි.  ගිනි අවි 40ක් රැගෙන ගොස් ඇති අතර ඉන් ගිනි අවි 14ක් මුහුදට වැටී ඇත. පෞද්ගලික නාවික නියෝජිත ආයතනයේ සේවකයකු මේ පිළිබඳ ගාල්ල වරාය පොලිසියට පැමිණිලිකර ඇති අතර ගාල්ල වරාය පොලිසිය මගින් මේ පිළිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කිරිමට නියමිතව තිබිණි.


 -ජේ.කේ.එල්.චාමින්ද-