ගර්භණී මවුවරුන් සඳහා ලබාදිය යුතු කෝවිඩ් -19 මර්දන එන්නත සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළද, විෂය සම්බන්ධයෙන් වූ විශේෂඥයන් සමග මේ වනතෙක් සාකච්ඡා සිදුකර නැතැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරයි.  මේ පිළිබද  කළ විමසීමේදී එම විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පැවසුයේ,

අදාළ විශේෂඥවරුන් සමග සාකච්ඡා සිදු නොකර වෙනත් පාර්ශ්වයන්ගේ අදහස් මත සෞඛ්‍ය තීන්දු හා තීරණ ගැනීම මෙවැනි අවස්ථාවකදී සිදු නොකළ යුතු වන බවයි.කෙසේ වුවද, ඊයේ (09)දා වනවිටද ගර්භණී මවුවරුන් 04දෙනෙකු පමණ කෝවිඩ් -19 වෛරසයට ආසාදනය වීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන බවද පෙන්වා දුන් සභාපතිවරයා, කෝවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන්රෝහල්ගත වන ගර්භණීමවුවරුන් සංඛ්‍යාව අඛණ්ඩව වැඩි වෙමින් පවතින බවද පැවසීය. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමග අද (10දා) සවස පැවැත්වීමට නියමිත සාකච්ඡාවකදී ගර්භණී මවුවරුන් එන්නත්කරණයට සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බවදහෙතෙම ප්‍රකාශ කළේය.
 (නිදර්ශනී වික්‍රමසිංහ)