කවුද මේ කැරොලයින් ජූරි? . .
ඇගේ ගම කඳානය. ඇය කියන හැටියටම ඇය සාමාන්‍ය පවුලක සාමාජිකාවකි. පියා හා මවට අමතරව සහෝදර සහෝදරියෝ පස් දෙනෙක් සිටියෝය. ඇය ඉගෙන ගත්තේ රජයේ පාසලකය. ළමාවිය බෙහෙවින් කටුකය. ඇය කියන විදිහට අඳුරුසහගතය. මාස පහක් පමණ පියාට හරිහමන් රස්සාවක් නොතිබුණ නිසා අන්ත දුක්ගැහැටෙන් පීඩා විඳි ඔවුන්ගේ පවුලට එකල උදව් වුණේ මැගේ මිතුරියකි. පසුව පියාට රැකියාවක් ලැබුණු අතර සහෝදර සහෝදරියන්ද රැකියාවක් කරන්නට පටන්ගත් නිසා පවුලේ ආර්ථික ගැටලු යම් තරමකට විසඳුණත් ජූරි කැරොලයින්ගේ පාසල් ජීවිතය බෙහෙවින් දුක්මුසු විය. ඇය උසය (ඇගේ දැන් උස අඩි 5 යි අගල් 10 කි). උස නිසා පාසල් ළමෝ ඇයට පොල්ගහ යැයි විහිළු කළෝය. එකල ඇගේ දත් ඉස්සරහට නෙරා තිබුණු නිසා සෙසු ළමෝ පොල් බෑයක් ගාගන්න පුළුවන්දැයි අසමින් ඇයට කොලොප්පම් කළෝය.
ඇය නෙට්බෝල් ක්‍රීඩාවට කැමැති වුණත් නිතරම අසනීප වීම නිසා පාසල් ගියේ දෙකට දෙවාරමටය. ඇගේ මව විනය ගරුකය. ජූරි තරමක දගකාරියක නිසා මව ඇයට දඬුවම් කළාය.
"සමහර වෙලාවට අම්මා කකුල් නිල්පාට වෙනකම් ගැහුවා. මේ කළේ මගේ හොඳට කියලා මට තේරුණේ පසේ’” ඇය කියන්නීය.
ජීවිතය දුක්මුසු නිසා, හැම දෙයක්ම නරකට හිටින නිසා, ඇය සියදිවි නසාගන්නට තීරණය කළාය.
'එක සැරයක් වස බොන්න හිතාගෙන ගෙදර කාමරයකට ගියා. ඒත් තාත්තා හදිසියෙන් ආ නිසා ඒක වැළකුණා" ඇය කියන්නීය.
"මට ජීවිතය හොඳටම එපා වුණා. ඉස්කෝලෙ ගියාම විහිළු කරනවා. කවුරුත් දකින්නේ නරක පැත්ත විතරයි. කෝච්චියට පැනලා දිවිනසා ගන්න හිතාගෙන මම කඳාන ස්ටේෂම ළගට ගියා. හයේ කන්තෝරු කෝච්චිය දුර එනවා. මම හඬ හඬා එකයි, දෙකයි. කියලා තුන ගණින්න හදනකොට මගේ යාළුවෙක් මගේ උරහිසින් අල්වා "ජූරි ඔයා මෙතන මොකද කරන්නෙ? යං ගෙදර' කියා මා එක්කරගෙන ගියා. එදා යාළුවා නොහිටියා නම් මම කෝච්චියට පනිනවා” ඇය කීවාය.
''දෙසැරයක් දිවි නසා ගන්න ගිහින් වැරදුණේ දෙවියන් වහන්සේට මා ගැන වෙන සැලසුමක් ඇති හින්දයි කියල මා සිතුවා" ඇය කීවාය.
කෙටි කලක් ලංකාවේ රැකියාවක් කිරීමෙන් පසු ඇය රැකියාවක් සොයා කටාර් දේශයට ගියාය. ඇයට ලැබුණේ සුපිරි වෙළඳසැලක කවුන්ටරයේ රස්සාවකි.
හිටගෙන වැඩ කරන්න ඕනෑ. හවස් වෙනකොට කකුල් ඉදිමෙනවා. එක දවාලක් වැඩ කළාම අනිත් දවසේ රෑ වරුව. මේ විදිහට මාරුවෙන් මාරුවට වැඩ කළා. ඊට පස්සේ ඩුබායි ගියා. ඩුබායි එයාපෝට් එකෙන් බැහැලා බස් නැවතුමට ගියාම කොහේ යනවාද කියලා නිනව්වක් තිබුණෙ නැහැ. පස්සෙ මම යාළුවෙකුට කතා කළා. එයා මාව කැඳවාගෙන ගිහින් මට කන්න බොන්න දුන්නා. රස්සාවක් හොයලා දුන්නා” ජූරි කීවාය.
කැරොලයින් ජූරිට ඇගේ අනාගත සැමියා හමුවුණේ ඩුබායි නුවරදී අහම්බෙනි.
"මම වැඩ කළ සාප්පුවට යාබද සාප්පුවක එයා වැඩ කළා. එයා කළමනාකාරවරයා. මම දවසක් කවුදෝ එක්ක සිංහලෙන් කතා කරනවා ඇහිලා නිෂාන් මා එක්ක කතා කළා. පස්සෙ අපි යාළු වුණා. එයා ඉගෙන ගෙන තිබුණේ මා ඉගෙනගත් ඉස්කෝලේම පිරිමි ඉස්කෝලෙ. පස්සෙ අපි ලංකාවට ඇවිත් විවාහ වුණා.
එක් දරු මවක වූ පසුව ඇය දරුවා සිය මවට හා නැන්දම්මාට භාරදී ඩුබායි නුවර සුපුරුදු රැකියාව කළාය. රැකියාව කිරීමේදීද, අතදරුවා ගෙදර දමා ආ මවක ලෙසද ඈ මුහුණ පෑ අභියෝග බොහෝය.
මේවා එකින් එක විස්තර කරනවා වෙනුවට අපි දැන් ඈ ලෝක විවාහක රූ රැජින වූයේ කෙසේදැයි
ඇගෙන් අසමු.
"මේ වගේ තරගයකට මුහුණ දෙන්න බොහෝ කාලයක සිට මගේ ආශාවක් තිබුණා. මම මගේ, ස්වාමිපුරුෂයාගේ හා ඔහුගේ මව, මගේ නැන්දම්මාගේ උනන්දුව නිසා මා ලෝක විවාහක රූ රැජින තරගයට අයැදුම් කළා” ඇය කීවාය.
තරගයට පෙනී සිටීමට ඇමරිකාවේ ලාස් වේගාස් නුවරට යායුතුව තිබුණු අතර මෙවැනි තරගවලට සහභාගි වන වැඩිදෙනාට අනුග්රාහකයෝ සිටිති.
රූපලාවණ්‍ය ශිල්පීහු, අධ්යක්ෂවරු ආදි පිරිවර සිටිති. රූමත් වුවත්, දිරිමත් වුවත් කැරොලයින් ජූරි ප්‍රභූ පත්තියට අයත් නොවූ නිසාදෝ ඇයට අනුග්‍රාහකයෙක් නොවීය. සියල්ල තම වියදමෙන් කරගන්නට සිදුවිය.
''එක්සත් ජනපදයේ ලාස් වේගාස් නුවරට යන්න වීසා ගන්න ඕනෑ වුණා. ඇමරිකන් එම්බසිය කිසිම හේතුවක් නොදක්වා දෙසැරයක්ම වීසා ප්‍රතිකේෂ්ප කළා.
රැජින තරගය පටන් අරගෙන. ලංකාවේදී ගුවන් යානයට නගින්න හදනකොටත් බර වැඩියි කියලා අඳින්න හිටිය සමහර ඇඳුම් ලංකාවේ තියලා යන්න වුණාඇය කියන්නීය.
ගුවන් යානයකින් මුලින් කටාර් නුවරට ගොස්, පසුව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ගුවනින් ගොස් ලාස් වේගාස් නුවර ගොඩබසින විට ඇගේ අතේ තිබුණේ ගෙවන්නට ගෙනගිය ඩොලර් 2000ත් පමණකි.
"මම ලාස් වේගාසවලට යනකොට උත්සවය පටන් අරගෙන දවස් දෙකක් වෙනවා. මම කෙලින්ම
හෝටලයට ගිහින් ලැහැස්ති වෙලා රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වුණා. පසුදා තරගයට සහභාගි
වෙනකොට වෙන රටවලින් තරගයට ආ තරගකාරියන්ට වගේ පිරිවරක් මට හිටියෙ නැහැ. හොඳ ඇඳුමක් හෝ හොඳ සපත්තු තිබුණේ නැහැ.''
වට තුනකින් පැවැත් වූ තරගයේදී මුල් වටයේ හා දෙවන වටයේ කිසිදු දිනුමක් නොලැබූ ඇය අවසාන වටයේදී 2020 ලෝක විවාහක රූ රැජින වන්නීය.
මේ වෙනුවෙන් වෙහෙස වුණු අය ගැන හිතලා ඇඬුවා. දිනුවේ කැරොලයින් ජූරි නෙවෙයි. ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණයි
ඇය කියා තිබුණි. නමුත් පෙර නොසිතූ විරූ කාරණා මතබේද මැද ඊළග වර්ෂයේ ඇගේ කිරුළ අහිමිවී යන්නේය.
දැන් ඇය විවාහක රූ රැජිණිය නොවන්නීය.
0 Comments