යුක්රේන ජාතිකයන් සහ කොවිඩ් ආසාදිත ඉන්දියානුවන් මෙරටට ගෙන්වීම තුළින් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ රුසියාවේ හිටපු ශ්‍රී තානාපති උදයංග වීරතුංග මහතා වගකිවයුතු බව සදහන් කරමින්,
ඔවුන්ට එරෙහි නඩු පැවරීමට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ 19 මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි. නාරාහේන්පිට ධර්මායතන විහාරස්ථානාධිපති සහ කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විදුහල්පති වන උලපනේ සුමංගල හිමි සහ ලෙස්ලි ද සිල්වා විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආර්ථික පුනර්ජීවන සහ දුප්පත්කම තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ , රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, පොලිස්පති, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පළමු පෙත්සම්කරු බෞද්ධ භික්ෂුවක සේම කොළඹ ඩඩ්ලි සේනායක විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරයි. පෙත්සම්කරුවෝ රටේ ප්‍රශ්න කෙරෙහි උනන්දුවක් දක්වන තැනැත්තෝ වෙති.ජනාධිපති සහ පළමු වගඋත්තරකරු ගන්නා ලද තීන්දු සහ තීරණ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට වැළඳී ඇති සේම ඉන් ඇතැම් පිරිස් මරණයටද පත්ව ඇත. මෙරට කොවිඩ් වසංගතය පැමිණීමත් සමග සෞඛ්‍ය විශේෂඥයන් රට වසා දමන ලෙසට නිර්දේශ කර ඇත. එම තීන්දු තීරණවලට පටහැනිව ජනාධිපතිවරයා මහ මැතිවරණය පැවැත්වීමටද කටයුතු කළේය. කොවිඩ් වසංගත තත්වය මෙරට උග්‍රව පැවැති අවස්ථාචක මෙරටට යුක්රේන ජාතිකයන් සහ ඉන්දියානු කොවිඩ් රෝගීන් මෙරටට ගෙන්වීම තුළින් 1 සහ 2 වගඋත්තරකරුවන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනීමැරීමේ වරද සිදු කර ඇත.
ඊට අමතරව නිරෝධායක පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම මගින් 1 සහ 2 වගඋත්තරකරුවන් දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇත. පළමු වගඋත්තරකරු ජනාධිපතිවරයාට තිබෙන සම්බන්ධකම් උපයෝගී කරගෙන ජනාධිපතිවරණයෙන් පසු මෙරටට පැමිණ නොයෙකුත් ව්‍යාපෘති සිදු කරයි. පසුගිය වසරේ ඔක්තෝබර් මුල් සතියේදී පළමු වගඋත්තරකරුගේ අනුමැතිය මත , දෙවැනි වගඋත්තරකරු මෙරටට යුරේන සංචාරකයන් විශාල පිරිසක් රැගෙන ආවේය. මෙම සංචාරකයන් ගෙන ඒම හේතුවෙන් මෙරටට කොවිඩ් වසංගතය උග්‍ර ලෙස පැතිර ගියේය. එසේ කොවිඩ් මැඩලීම සඳහා ඇති කළ විශේෂ අරමුදලේ මුදල් වැය වන ආකාරය සම්බන්ධයෙන් සහ සාමාන්‍ය මුදලට වඩා අධික මුදලක් වැය කර ගිලන් රථ ගෙන්වීම සම්බන්ධයෙන් ගැටලු ද ඇත.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, ජනාධිපති විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් පෙත්සමින් ඉල්ලා සිටිති. එසේම පසුගිය ඔක්තෝබර් 18 වැනිදායින් පසුව කොවිඩ් වැළඳී මියගිය අය සම්බන්ධයෙන් හා ඒ මගින් රෝගී වූ අයගේ ජීවිතවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් 1 සහ 2 වැනි වගඋත්තරකරුවන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ නිරෝධායන පනත යටතේ චෝදනා ඉදිරිපත් කර නඩු පැවරීමට නීතිපතිට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
- තිළිණි ද සිල්වා-
0 Comments