covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 



දර්ගා නගරය

දර්ගා නගරයේ සුපිරි වෙළඳසැලක කළමනාකාරවරයා සහ තවත් අයකු ඊයේ (17) පස්වරුවේ කොරෝනා ආසාදිත වීම හේතුවෙන් සෙසු කාර්ය මණ්ඩලයේ 14 දෙනෙක් පී.සී.ආර්. පරික්ෂණයට ලක්කර නිරෝධායනය වීමට උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.  ප්‍රසිද්ධ සමාගම් ජාලයකට අයත් දර්ගා නගරයේ පිහිටි එකම සුපිරි වෙළෙඳසල මෙය වන අතර මේ වනවිට එම සුපිරි වෙළඳසල තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.

මීගමුව

මීගමුවේ වැඩි කොවිඩ් ආසාදිතයන් සිටින ගම්මානය මීගමුව කුරණ ගම්මානය බව මීගමුව මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක (පරිපාලන) වසන්ත සෝලංගආරච්චි මහතා විද්‍යා පැවසිය.  එම ගම්මානයේ පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කළ පිරිසකගේ වාර්තා 15 දා මහනගර සභාවට ලැබී තිබුණ අතර එයින් 30 දෙනකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී ඇත.  මීගමුව කුරණ ගම්මානයෙන් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1250 කි. කටානෙන් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන් ගණන 1000 කි.


නිරෝධායනය වෙමින් සිටි මීගමුව කුරණ ප්‍රදේශයේ කොරෝනා අසාදිතයකුගේ පියා සහ බාප්පා එම වයිරසය ආසාදනයෙන් මියගොස් ඇති අතර, ඔහුගේ මව සහ සොහොයුරියන් දෙදෙනාද වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
සජිත් චන්දන කුමාරසිංහ නැමැති එම පුතා, සිය දෙමාපියන් බැලීම සඳහා ඉකුත් 8 වැනිදා කටුනායක, ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි සිය මහගෙදරට පැමිණ තිබුණි. ඔහු එසේ පැමිණෙන විටත්, පී.සී.ආර්. පරීක්ෂණයකට සහභාගී වී සිට ඇත. ඔහු සිය දෙමාපියන් සමග පැය භාගයක පමණ සිට ආපසු සිය නිවෙසට ගොස් තිබේ. එදිනම සවස ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමෙන් පසුව, වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු නිරෝධායනයට යොමු කර තිබේ.
9 වැනිදා සවස 60 හැවිරිදි කන්නන්ගර හෙට්ටිආරච්චිගේ චන්ද්‍රා කන්නන්ගර නමැති ඔහුගේ මව හුස්ම ගැනීමේ අපහසුතා සහ කැස්ස ආදී රෝග ලක්ෂණ හේතුවෙන් කටුනායක පොලීසියේ මැදිහත් වීමෙන් මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර තිබේ.
ඉන්පසුව ඔහුගේ පියා වන 66 හැවිරිදි සරත් චන්ද්‍ර නමැති අයට ද පෙර කී රෝග ලක්ෂණ මතු වීම නිසා 12 වැනිදා කටුනායක පොලීසියේ මැදිහත් වීමෙන් ඔහු ද සුවසැරිය ගිලන් රථයකින් මීගමුව මහ රෝහලට යවා ඇත. එම තැනැත්තා 14 වැනිදා මිය ගිය අතර, ඔහුට ද කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වීමෙන් පසු, එදින සවස ඔහුගේ දේහය මීගමුව පොදු සුසාන භූමියේ දී ආදාහනය කර තිබේ. කටුනායක ඇවරිවත්ත නිවසෙහි සිටි ඔහුගේ සොහොයුරියන් දෙදෙනාට ද කොරෝනා රෝග ලක්ෂණ මතු වීමෙන් පසුව, ඔවුන් ද නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබේ.

ඒ අතර මෙම නිවසෙහි වාසය කළ සරත් චන්ද්‍රරත්නගේ මල්ලී වන, මන්ද මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිටි 60 හැවිරිදි මිත්‍රානන්ද කුමාරසිංහට ද මෙම රෝගී ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර, ඔහු ද 16 වැනිදා මිය ගොස් ඇත.


ගම්පහ

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 27,751 දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ඊයේ (17)උදෑසන වනවිට ගතවූ පැය 24ක කාලය තුළ ආසාදිතයන් 320 දෙනකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කරයි.  මින් 43 දෙනකු වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් හමුව ඇති බවත් ගම්හප - 41ක්, දිවුලපිටිය - 36ක්, මීගමුව - 33ක්, දොම්පෙ - 22ක්, වත්තල - 21ක්, මහර - 20ක්, අත්තනගල්ල - 19ක්, කැලණිය සහ මිනුවන්ගොඩ කොට්ඨාසයගෙන් 18 දෙනකු බැගින්, ජාඇල - 15ක්, මීරිගම සහ රාගම කොට්ඨාසයන්ගෙන් 12 දෙනකු බැගින් සහ සීදුව කොට්ඨාසයන් 10 දෙනකු හමුව ඇති බවත් අධ්‍යක්ෂිවරයා පැවසීය.  දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදු කළ පී.සී.ආර්. පරික්ෂාවන්හිදී ආසාදිතයන් 166 දෙනකු සහල් රෝහල්වලින් සිදු කළ පරික්ෂණවලදී 154 දෙනකු වශයෙන් හමුව  ඇත.



රත්මලාන

දෙහිවල ගල්කිස්ස නගර සභා බලප්‍රදේශයට අයත් රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ රෝගීන් 131ක් වාර්තා වී ඇති අතර කොවිඩ්-19 ආසාදිත මරණ විසිහතක් (27) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරියෙක් පැවැසීය.  ඒ අනුව දෙහිවල ගල්කිස්ස නගර සභා බලප්‍රදේශයේ රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ අවුරුදු පොකුර තුළින් වාර්තා වුණු ආසාදිතයන් 1131ක් වන අතර කොවිඩ්-19 ආසාදිත මරණ 25ක් මේ වනවිට වාර්තා වී ඇත. මේ වුවද කොරෝනා පළමුවන හා දෙවන රැලි තුළින් මුළු සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයෙන්ම කොරෝනා රෝගීන් 100ක් පමණක් වාර්තා වී තිබුණ අතර කොවිඩ්-19 ආසාදිත මරණ දෙකක් පමණක් වාර්තා වීමත් සුවිශේෂී කරුණක් ද වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.


වැලිගම

වැලිගම කප්පරතොට ධීවර වරාය ආසන්නයේ 149 දෙනකුට සිදු කළ පී.සී.ආර්. පරික්ෂණවලින් 12 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට 16 වැනිදා හඳුනාගත් බව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.එච්.එන්. නිහාල් මහතා පැවැසීය.  එම ආශ්‍රිතයන් කප්පරතොට මිය ගිය අයගේ ආශ්‍රිතයන් බව සඳහන්ය. ජයරලපුර ගම්මානයේ රහසිගතව සිදුකළ බලිතොවිල් ශාන්ති කර්මයකට සහභාගි වූ පවුල්වල එකම පවුලක 5 දෙනකු සහ තවත් පවුලක 4 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බව ද නිහාල් මහතා කීය.


බුස්ස
බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් 36 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වි යැයි බූස්ස  ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරන රැඳවියෝ දින 14ක කාලයකට නිරෝධායනය කිරිම සඳහා බූස්ස බන්ධනාගාරයට රැගෙන එනු ලබති. එසේ රැගෙන එන නවක රැඳවියෝ බූස්ස බන්ධනාගාරයේ වාට්ටුවල නිරෝධායනය කොට යළි අදාළ බන්ධනාගාරවලට යොමු  කෙරෙති. බන්ධනාගාරයට නිරෝධායනය වීම සඳහා රැගෙන එනු ලැබූ රැඳවියන් 98 දෙනකු නිරෝධායනය වෙමින් සිටියදී පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කර ඇති අතර ඉන් 36 දෙනකුට පෙරේදා 16  වැනිදා කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බව ද බූස්ස බන්ධනාගාරය පවසයි.

මාතලේ

මේ දිනවල පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ 16 වැනිදා දහවල් වන විට සමස්ත රෝගීන් 3001 දක්වා ඉහළ ගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
පසුගිය පැය 24 තුළ රෝගීන් 32 කු පමණ වාර්තා වී ඇති බවත්, මාතලේ දිස්ත්‍රික්කයෙන් මේ වන විට මරණ 35 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියි.
ඒ අනුව උකුවෙලින් රෝගීන් 649 ක්, දඹුල්ල මහ නගර සීමාවෙන් රෝගීන් 436 ක, ගලේවෙලින් රෝගීන් 418 ක්, රත්තොටින් රෝගීන් 277 ක්, නාඋලින් රෝගීන් 221 ක්ද, දඹුල්ලෙන් රෝගීන් 215 ක්ද, මාතලෙන් රෝගීන් 215 ක්ද, මාතලේ මහ නගර සීමාවෙන් රෝගීන් 201 ක්ද, යටවත්තෙන් රෝගීන් 126 ක්ද, පල්ලෙපොලින් රෝගීන් 120 ක්ද, අඹන්ගහකෝරලයෙන් රෝගීන් 64 ක්ද, විල්ගමුවේ රෝගීන් 62 ක්ද, ලග්ගලින් රෝගීන් 35 ක්ද වාර්තා වී තිබේ.

මේ වන විට දිස්ත්‍රික්කය පුරා පවුල් 651 ක පුද්ගලයන් 1665 දෙනකු නිරෝධායනයට ලක්කර ඇති බවද සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි.

පදියතලාව

පදියතලාව පොලිස් බල ප්‍රදේශයේ කෙහෙල්උල්ල ග්‍රාම නිලධාරි වසමේ කඩුපහර ගම්මානයෙන් දැනට ආසාදිතයන් විසිතුන් දෙනකු හඳුනාගෙන ඇති අතර පසුගිය 15 වැනිදා මෙම ගම්මානයෙන් ඇන්ටිජන් පරීක්ෂණ එකළෙහක් සිදු කරද්දී පහක් පොසිටිව් තත්ත්වයට පත්ව ඇතැයි පදියතලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පී. කේ. රත්නසිරි පැවසීය.


මාවතගම

මාවතගම සෞඛ්‍ය බලප්‍රදේශයේ අවුරුදු රැල්ලේ කොරෝනා ආසාදිතයන් පිරිස 60 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශයෙන් වාර්තා වෙයි.  මෙම ප්‍රමාණය වාර්තා වන්නේ මාවතගම රෝහල, පෞද්ගලික ආයතන හා සෞඛ්‍ය අංශ විසින් සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණ හා ඇන්ටිජන් පරික්ෂණවලට අනුව බව හෙළි වෙයි.

වඳුරඹ

බද්දේගම සෞඛ්‍ය බලප්‍රදේශයට අයත් වඳුරඹ පන්විල හා දෙයියන්දර යන ග්‍රාම සේවා වසම් දෙක පෙරේදා (16 වැනිදා) සවස සිට හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට කටයුතු කළ බව බද්දේගම මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි. අවුරුදු සමයෙන් පසුව ඇති වූ කොරෝනා තුන්වැනි රැල්ලත් සමග මෙම ප්‍රදේශ දෙකෙන් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ 25 වාර්තා වී ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයෝ 455 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක්කරනු ලැබ සිටිති.

පල්ලෙකැලේ

 පල්ලේකැලේ පොලිස් වසමේ පදිංචි පවුල් 8ක 11 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට මහනුවර ජාතික රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලදී තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මේ පිළිබඳව තොරතුරු ඉකුත් 15 සහ 16 යන දිනවල වාර්තා වී ඇති අතර මෙයින් දෙදෙනෙක් කාන්තාවෝය.ආසාදිතයෝ කුණ්ඩසාලේ උතුර, නත්තරම්පොත, ගල්මඩුවවත්ත, බලගොල්ල නැගෙනහිර, මහවත්ත දකුණ සහ කුණ්ඩසාලේ දකුණ යන ග්‍රාම නිලධාරි වසම්වල පදිංචිකරුවෝය.  මෙම ආසාදිතයන් වයස අවුරුදු 22- 63ත් අතර පසුවන්නන් වන අතර මොවුන්ගෙන් පස් දෙනකු පල්ලේකැලේ ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර සෙසු අයගෙන් පැණිදෙණිය රෝහලට දෙදෙනෙක්, කටුගස්තොට සිව්ඩේල් ප්‍රතිකාර මධ්‍යස්ථානයට එක් අයෙක්, මහනුවර ජාතික රෝහලේ එක් අයෙක් සහ නිවාස තුළ දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය  අංශ විසින් යොමු කරනු ලැබ සිටිති. මෙම පවුල්වල සෙසු සාමාජිකයන් එම නිවසේ තුළම ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව සඳහන්ය.

බෙලිඅත්ත

බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පෙරේදා 16 වැනිදා කොරෝනා වයිරසය ආසාදනය වූ පස් දෙනකු හඳුනාගෙන රෝහල්ගත කළ බව සෞඛ්‍ය අංශ පවසයි.  බෙලිගල්ල, වහරක්ගොඩ, කුඩිහීල්ල, කම්බුස්සාවල හා බෙලිඅත්ත යන ප්‍රදේශවල පදිංචි සිවු දෙනකු මිද්දෙණිය නව කොරෝනා රෝහලටත්, වීරකැටිය ඇඟලුම් කම්හලේ සේවය කරන 35 හැවිරිදි කාන්තාවක එරමිණියාය ප්‍රතිකාර මධ්‍යස්ථානයටත් පෙරේදා 16 වැනිදා ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.

රත්ගම

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් නව කොරෝනා ආසාදිතයන් 44 දෙනකු හමු වී ඇතැයි රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී තනුජා ජයතුංග මහත්මිය පැවැසුවාය.  පිරිසෙන් වැඩිම පිරිසක් රුජීවල ග්‍රාම නිලධාරි වසමෙන් හමු වී ඇති අතර එම පිරිස අටකි. එකම පවුලේ හතර දෙනෙක් ද ඒ අතර සිටිති. රජීපුර ග්‍රාම නිලධාරි වසමේ එකම පවුලේ දෙදෙනකු හමු වී ඇති අතර බෝපාගොඩ සහ මාවඩවිල යන ග්‍රාම නිලධාරි වසම් තුළින් ආසාදිත තිදෙනකු බැගින් ද මලින්දූව, ගනේගොඩ, කැඳල, පිටිවැල්ල, කරාගොඩ, ගනේගොඩ සහ ඔවකන්ද යන ග්‍රාම නිලධාරි වසම් තුළින් ආසාදිත දෙදෙනකු බැගින් ද හමු වී ඇතැයි ජයතුංග මහත්මිය සඳහන් කළාය.  හමු වී ඇති ආසාදිතයන්ගෙන් 30 දෙනෙක් කාන්තාවෝය. ආසාදිතයන් අතර ඇඟලුම් සේවිකාවන් 15 දෙනෙක් සිටිති. සෙසු ආසාදිතයන් අතර හෙදියෝ, ධීවරයෝ සහ හමුදා සෙබළු කිහිප දෙනෙක් ද සිටිති.

හික්කඩුව

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පසුගිය 8 වැනි කළ පී.සී.ආර්. පරික්ෂණ 86කින් 14 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.  එම පිරිස අතුරින් 13 දෙනකු මාදම්පාගම ප්‍රදේශයෙන් ද එක් අයකු සීනිගම ප්‍රදේශයෙන් බව ද එම කොට්ඨාස බාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන විරාජ් මෙන්ඩිස් සහ නලින් දේශප්‍රිය මහත්වරු පවසති. මේ වනවිට හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ තිරාණගම තුනක්, මාදගම තුනක්, හික්කඩුව දෙකක්, සීනිගම අයකු ලෙස කොරෝනා මරණ 9ක් ද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.


හම්බන්තොට

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉකුත් 16 වැනිදා තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 40ක් පී.සී.ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලින් හඳුනාගෙන රෝහල්ගත කළ බව සෞඛ්‍ය අංශ පවසයි.  බෙලිඅත්තේ ආසාදිතයන් 5ක්, අගුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් 6ක්, වලස්මුල්ලෙන් 3ක්, කටුවනින් 2ක්, හුංගමින් 2ක්, වීරකැටීයෙන් 2ක්, හම්බන්තොට, සූරියවැව, තිස්සමහාරාම, වීරවිල, ලුණුගම්වෙහෙර ප්‍රදේශවලින් විසි දෙනකු ඇතුළු රෝගීන්  40ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශය පැවැසීය.

නාරංගගොඩ

කරගොඩ උයන්ගොඩ නාරංගල්ගොඩ ප්‍රදේශයේ අවමංගල්‍ය  උත්සවයකට සහභාගි වීමෙන් පසු ඊට සහභාගි වූ පිරිසෙන් පස් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු කරන්ගෙන ඇතැයි තරගොඩ උයන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක ඉරංග හේමාල් මහතා පැවැසීය. නාරංගගොඩ ප්‍රදේශයේ අවමංගල උත්සවයට සහභාගි වීමට පැමිණ දින කිහිපයක් එම නිවෙසේ ගතකර ආපසු ගොස් තිබු කන්තලේ ප්‍රදේශයේ යුවළකට කොරෝනා ආසාදනය වී ඇති බව සොයා ගැනීමෙන් අනතුරුව කෙරුණ පී.සී.ආර්. පරික්ෂණයෙන් අවමංගල්‍යය පැවැති නිවෙසේ පදිංචිකරුවන් දෙදෙනකුට සහ යාබද නිවසක පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරිකවරයා සඳහන් කළේය. ඉමෙම අවමංගල උත්සවයට විශාල පිරිසක් සහභාගි වී තිබීම නිසා ආශ්‍රිතයන් හඳුනා ගැනීම අපහසු වී ඇති බවත් ප්‍රදේශයේ නිවාස 4ක් නිරෝධායනය කර ඇති බවත් හේමාල් මහතා වැඩිදුරටත් පැවැසීය.

නාගොඩ

නාගොඩ පොලිසියේ විශේෂ කාර්යාංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකුට කොරෝනා ආසාදින බව තහවුරු වී ඇති නිසා නාගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් 7  දෙනකු හා නිලධාරිනියන් දෙදෙනකු ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව නාගොඩ පොලීසිය පවසයි. පොලිස් කොස්තාපල්වරයාට උගුරේ ඇති වූ රෝගී තත්වයක් නිසා පෞද්ගලික රෝහලකට ගොස් කරනු ලැබූ පී.සී.ආර්. පරික්ෂණයේදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ අනුව මෙකී පොලිස් කොස්තාපල්වරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන මෙම නිලධාරින් හා නිලධාරිනියන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි නාගොඩ පොලිසිය කියයි.

බගවන්තලාව

 බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 10 ඊයේ 17 වැනිදා සිට හුදෙකලා කළ බව  බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවැසීය.  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ග්‍රාම සේවා වසමේ ඉන්ජස්ට්‍රි වත්තේ කොටසක් දැනටමත් හුදෙකලා කර ඇත. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ  ඉකුත් අප්‍රේල් 20 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා පී.සී.ආර්.  පරික්ෂණ වාර්තා 920ක් සිදු කර ඇති බවත්, ඉන් ආසාදිතයන් 169 දෙනකු හඳුනාගත් බවත්, එම පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවලින් 560 දෙනකුන්ගේ වාර්තා ලැබීමට නියමිත බවත් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියා සිටිති. මේ අනුව බගවන්තලාව, නොර්වුඩ් සහ හැටන් යන පොලිස් වසම්වලට අයත් වෙනචර් ඉන්ජස්ට්‍රිරි, ටිලර, කර්කස්වොල්  , බොගවාන, ලොයිනොන්, කොටියාගල, බගවන්තලාව, ඇන්ෆිල්ඩ්,  දික්ඔය,  දකුණ යන ග්‍රාම සේවා වසම් 10ක් හුදෙකලා කර ඇත.

 අහංගම

 අහංගම ප්‍රදේශයෙන් පෙරේදා (16) තවත් කොරෝනා ආසාදිතයන් හතර දෙනකු හමු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. ඒ අනුව අහංගම මුනිදස් මාවතෙන් ආසාදිතයෝ දෙදෙනෙක්, ගොවියාපාන සහ විස්කම් මාවතෙන් එක් අයෙක් බැගින් මෙම හතරදෙනා හඳුනාගනු ලැබ සිටිති. මෙම ආසාදිතයන් සිවුදෙනාම කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හල් සේකාවන් බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් පැවැසීය. ආසාදිතයන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට අහංගම මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.පී. ගයාන් අසංක මහතා කටයුතු යොදා ඇත.



උඩදුම්බර

උඩදුම්බර පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකුට හා පොලිස් කොස්තාපල්වරයකුට කොරෝනා ආසාදිත වී ඇතැයි  සෞඛ්‍ය අංශ පවසයි.  හදිසියේ සිදුකෙරුණ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදී මෙම දෙදෙනාට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.  ආසාදිත වූ පොලිස් නිලධාරින් දෙදෙනා බෝගම්බර පිහිටි හන්තාන සිසිල පොලිස් නිවස්නයේ කොවිච් ප්‍රතිකාර ඒකකයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ නිලධාරින්ගේ උපදෙස් මත පියවර ගෙන තිබේ.

හක්මන

හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ දෙනගම සහ මීඇල්ල ප්‍රදේශවල දෙදෙනකුට කොරෝනා ආසාදිත වී ඇති බව ඉකුත් පහළොස් වැනි දින හඳුනාගෙන ඇතැයි හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.  ඉකුත් පස්වැනිදා මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලදී දෙනගම ප්‍රදේශයේ පදිංචි කාත්තාවක් සහ වලස්මුල්ල මූලික රෝහලට ප්‍රතිකාර ලබාදීම සඳහා ඉකුත් පහළොස් වැනි දින ඇතුළත් කර ගැනුණ මීඇල්ල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයකු මෙලෙස ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.


රත්නපුර

රත්නපුර දිස්ත්‍රික්කයෙන් පෙරේදා (16) දිනය තුළදී පමණක් කොරෝනා ආසාදිතයන් 99ක් වාර්තා වී ඇති අතර මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ 1,6I6 දෙනකු කොරෝනා ආසාදිනව තවමත් ප්‍රතිකාර ලබන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඊයේ 17 වැනිදා පැවැසුවාය.  මෙම තත්වය ඉතා අවදානම් බව කී දිස්ත්‍රික් ලේකම්වරිය  ගෙවුණු 7 වැනිදා සිට 16 වැනිදා දක්වා වූ දින දහය තුළදී පමණක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත බව තහවුරු කළ පිරිස 1,312ක් බව ද සඳහන් කළාය.
මේ මොහොතේ සෞඛ්‍ය නීති සහ නිරෝධායන නීති ගැන වැඩි සැලකිල්ලක් දක්වනැයි ද ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය. මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 29ක් හුදෙකලා කර ඇත. මුලින් ග්‍රාම නිලධාරි වසම් 30ක් හුදෙකලා කර තිබුණ අතර ගඟුල්විටිය ග්‍රාම නිලධාරි වසමේ පමණක් මේ වනවිට හුදෙකලා බව ඉවත් කර ඇත.

රක්වාන
රක්වාන පොලීසියේ සේවයේ නිරත නිලධාරින් හය දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංග පවසයි.  තවත් නිලධාරින් 13 දෙනකු ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි. රෝගය ආසාදිත හා ස්වයං නිරෝධායනයට ලක් කර ඇති පොලිස් නිලධාරින්ගේ අඩුව මෙසේ පැවැතියත් පොලිසියේ සාමාන්‍ය රාජකාරි සහ මහජන සේවාවන් සුපුරුදු පරිදි පවත්වාගෙන යන බව රක්වාන පොලීසිය පවසයි.


කහවත්ත
කහවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් හතත් ඊයේ 17 වැනිදා උදෑසන සිට හුදකලා කිරීමට පියවර ගැනිණ. කොරෝනා ආසාදිත පිරිස ඉහළ යෑම නිසා කහවත්ත සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මෙම ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරිමට  ජාතික කොවිඩ් මර්දන කමිටුවෙන් ඉල්ලීමක් කර තිබුණි.කහවත්ත ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් කහවත්ත නගරයේ කොටසක් ද හුදෙකලා කර තිබේ.

නුගවෙල නැගෙනහිර, නුගවෙල බටහිර, උඩහමුප්, ඇන්දාන, මඩලගම ජනපදය, පනාපිටිය දකුණ, පනාපිටිය උතුර, ගබ්බෙල, මියනවිට බටහිර යන ග්‍රාම සේවා වසම් මෙලෙස හුදෙකලා කර තිබේ. හුදෙකලා කරුණ කහවත්ත නගරයේ කොටසක් අයත් නැගෙනහිර නුගවෙල ග්‍රාම සේවා වසමේ වෙළෙඳසල් පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වසා දැමීමට කටයුතු කළහ.


මාරවිල

මාරවිල මූලික රෝහලේ වෛද්‍ය නිලධාරින් අට දෙනෙකු ඇතුළු 29 දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදිතව වී ඇති බවට ඊයේ (17) වනවිට අනාවරණය වී ඇතැයි ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වද දිනුෂා ප්‍රනාන්දු මත්මිය පැවසුවාය.මේ හේතුවෙන් රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වාට්ටු දෙකකට හා ගැබිනි වාට්ටු දෙකක් තාවකාලිකව වසා දමා තිබේ. රෝහල් කාර්ය මණ්ඩලයේ 102 දෙනෙකුට පී.සී. ආර් පරික්ෂණ සිදු කර ඇති අතර එයින් 92 දෙනෙකුගේ වාර්තා අනුව වෛද්‍ය නිලධාරීන් 08 දෙනෙකුට, හෙදියන් 15 දෙනෙකුට හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 06 දෙනකුට වෛරසය ආසාදිතව ඇති බවට අනාවරණය වී ඇති බවද ඇය පවසා සිටියාය.

මහර
මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළින් ඉකුත් 15 හා 16 යන දිනවලදී නව කෝවිඩ් ආසාදිතයන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව එම කාර්යාලය පවසයි.පසුගිය දිනවල සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණවලට අනුව මෙම ආසාදිතයන් හඳුනා ගැනීමට හැකිවූ බව පවසන මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙද නිහාල් ගමගේ මහතා ඒ අනුව එම කොට්ඨාසය තුළින් මෙතෙක් වාර්තා වී ඇති සමත රෝගීන් 2,729ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පවසා සිටියේය.

හැටන්
හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය ඊයේ 17දා  තාවකාලිකව වසා දැමීම්මට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිශ්ණන් මහතා පැවසීය.එහි සේවකයන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට කෝවිඩ් 19 වෙරසය ආසාදනය වීම

නිසා මෙම පියවර ගත් බවත් මේ හේතුවෙන් එම තැපැල් කාර්යාලයේ සේවය කළ සේවකයන් 17 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවද හෙතෙම පවසා සිටියේය. ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමුවද හැටන් නගරයේ පිහිටි තැපැල් පියස කාර්යාලය විවෘත කර විෂබීජහරණය සිදු කර ආශ්‍රිතයන් නොවන සේවකයන් සහභාගි කර ගනිමින් තැපැල් කාර්යාලයේ දෙනික කටයුතු සිදු කරගෙන යන ලෙසටත්, (17දා) ගෙවිමට නියමිතව තිබූ වැඩිහිටි දීමනාව (17) දින නොගෙවන ලෙසට තැපැල් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබාදුන් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.

වතුපිටිවල

වතුපිටිවල හදිසි මරණ පරීක්ෂකවරයාටත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම රෝහල්ගත කොට ඇති බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.මේ පිළිබද දුරකථනය ඔස්සේ සිදු කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කලුබෝවිල රෝහලට ඇතුළත් කොට සිටින බව වතුපිටිවල හදිසි මරණ පරික්ෂක ඇම්.ජේ.ඇම්.අබ්දුල් කාදර් මහතා ඊයේ (17දා) දහවල් පැවසීය.