covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 


 හෝමාගම

හෝමාගම නගරයේ සුපිරි වෙළෙඳසල්වල සේවකයන්ගේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී සුපිරි වෙළඳසල් දෙකක සේවකයන් දෙදෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මේ ස ඳහා හෝමාගම නගරයේ සුපිරි වෙළෙඳසල්වල ජනතාව සමග නිරන්තරයෙන් ගැටෙන සේවකයන් තෝරාගෙන මෙම පී.සී.ආර්. පරික්ෂණ සිදුකර තිබුණි.  ඒ අනුව එම ආසාදිතයන් සමග සේය කළ සියලුම පිරිස් ස්වයං නිරෝධායනය කිරිමට කටයුතු කළ බව හෝමාගම මහජන සෞඛ්‍ය (පරිපාලක) ප්‍රියන්ත විජේසූරිය මහතා පැවැසීය. 


පාදුක්ක - උග්ගල්ල

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ උග්ගල්ල ග්‍රාම නිලධාරී වසමේ කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 30 දෙනෙක් හමුවීමෙන් පසු එම ප්‍ර‍දේශයට කිසිදු පුද්ගලයකුට ඇතුළු වීමට හා පිටවීමට නොහැකි වන පරිදි පනවා තිබූ සංචරණ සීමාවන් මේ වනවිට ලිහිල් කර ඇතැයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමිත්‍ර කහන්ගමගේ ඊයේ (09 වැනිදා) පැවසීය.

 පිළියන්දල
කොවිඩ් රතු කලාපයක් ලෙසට නම් කර ඇති පිළියන්දල ප්‍රදේශයෙන් ඉකුත් 2 වැනිදා ආසාදිතයන් 19
දෙනකු වාර්තා වීමත් සමඟ පිළියන්දල හුදෙකලා කිරීමෙන් පසු දේශපාලන බලපෑම් මත එම ප්‍රදේශය
හුදෙකලා බවින් නිදහස් කිරීම නිසා කොවිඩ් පාලන නීති ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය බලධාරීන්ට ප්‍රශ්නයක්
වී ඇතැයි වාර්තා වේ.
පිළියන්දලින් වාර්තා වූ ආශ්‍රිතයන් සංඛ්‍යාවට අනුව ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමේ අවදානමක්
පැවැතීම නිසා තාක්ෂණික කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් පිළියන්දල හා
කැස්බෑව හුදෙකලා කරනු ලැබීය.
සෞඛ්‍ය බලධාරීන් තැබූ විශ්වාසය තහවුරු කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පෙරේදා (05දා) වාර්තා වූ
කොවිඩ් ආසාදිතයන් 498 දෙනා අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 122ක් පිළියන්දලින් වාර්තා වූ
නමුත් එම ප්‍රදේශය සම්බන්ධයෙන් කොවිඩ් පාලන නීති ක්‍රියාත්මක කිරීමේ ගැටලු සහගත තත්ත්වයක්
නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
ආසාදිතයන් 19 දෙනකු වාර්තා වූ අවස්ථාවේ හුදෙකලා කළ පිළියන්දල කොවිඩ් රතු කලාපය ආසාදිතයන්
සිවු ගුණයකින් වාර්තා වී ඇතත්, සෞඛ්‍ය බලධාරීන්ට පවතින අවදානම දැක දැක නිහඬ පිළිවෙතක්
අනුගමනය කිරීමට සිදුව ඇතැයි දැනගන්නට ලැබී ඇත.
වසංගත රෝග විද්‍යා අංශය පිළියන්දල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 122ක් වාර්තා වී ඇති බව
තහවුරු කර ඇතත් ඒ සම්බන්ධයෙන් පියවරක් නොගෙන සෞඛ්‍ය බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ
යළිත් එම දේශපාලන හස්තය ක්‍රියාත්මක වේද යන සැකය නිසා බවට රාවයක් පැතිර යමින් පවතියි.
ආසාදිතයන් 19ක් වාර්තා වූ අවස්ථාවේ කොවිඩ්  කලාපයක් බවට ප්‍රකාශයට පත්වූ පිළියන්දල ආසාදිතයන්
122ක් වාර්තා වීමෙන් පසු, අවදානම් තත්ත්වයක් ගැන නොසලකා හැරීමෙන්, එම ප්‍රදේශයේ කොවිඩ්
පාලනය ගිලිහී යමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
පිළියන්දල හුදෙකලා තත්ත්වයෙන් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කළ කමිටුවේ වාර්තාව කඩිනමින් ලබා ගෙන, එම කමිටු නිර්දේශ හා
නිර්ණායක වහාම ක්‍රියාවට නැංවීමට පියවර නොගත හොත්, පිළියන්දල හරහා බස්නාහිර පළාත කොවිඩ්
තුන්වන රැල්ලේ ගොදුරක් වීම වැළැක්විය නොහැකි බවද සෞඛ්‍ය  අංශ පෙන්වා දෙයි.


කැලණිය  ඊරියවැටිය

 අලුත් අවුරුද්දට කතරගම වන්දනාවේ ගිය කැලණිය  ඊරියවැටිය ප්‍රදේශයේ 60ක පිරිසකගෙන් 13දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී ඇතැයි කැලණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ඉකුත් 16, 17, 18 දිනවල මෙම පිරිස කතරගම වන්දනාවේ ගොස් ඇති බවත් එම පිරිසෙන් එක් අයකු ඉකුත් සතියේදී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව වන්දනාවේ ගිය 60 දෙනාම ඉකුත් දින (06) පී.සී.ආර්. පරික්ෂාවට ලක්කර ඇත. ඒ අනුව එම 60 දෙනාගෙන් තවත් 12 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තතා වී ඇත. ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා පරීක්‍ෂණ පවත්වන බවත් ඔහුගේ පවුල්වල අය නිරෝධායනයට යොමුකර ඇත. එම ආශ්‍රිතයන් ලබන 11 වැනිදා පී.සී.ආර්. පරික්ෂාවට ලක්කිරිමට නියමිත බව මහජන සෞඛ්‍ය පරිකවරු පවසති.

අවිස්සාවේල්ල

 අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් විසි දෙදෙනකු වාර්තා වූ බව අවිස්සාවේල්ල  මූලස්ථාන පොලිසිය පවසයි.

ගාල්ල
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ හා කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැව් කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවකගේ පළමු පෙළ ආශ්‍රිතයින් 04 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට ලක්කොට ඇති බව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති කරාපිටිය වෙද පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ගේ ආශ්‍රිතයින්ද නිරෝධායනයට ලක්කොට ඇත. කෙසේ වුවද කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සාමාන්‍ය පරිදි පශ්චාත් මරණ පරික්ෂණ සිදුකරන්ගෙන යන බවද අධිකරණ වෛඳ නිලධාරි කාර්යාලය පවසයි.

කොවිඩ්-19 වයිරසය ගාල්ල දිස්ත්‍රික්කය තුළ පාලනය කිරීම සඳහා සහාය ලබාදීමට එළැඹෙන 11 දින සිට 25 දින දක්වා දින 14ක කාලසීමාවක් ගාල්ල දිස්ත්‍රික්කය පුරා අත්‍යාවශ්‍ය වෙළෙඳසල් හැර අනෙකුත් සියලුම වෙළෙඳසල් වසා දැමීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සභාපති විපුල් ජයරත්න පැවසීය.

තංගල්ල
තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ හෝටලයක පැවැති මංගල සාදයක මනාලයා කොවිඩ් ආසාදිත වීම
හේතුවෙන් මනාලිය සහ පවුල් හයකට අයත් 25 දෙනකු නිරෝධායනය කළ බව නාකුළුගමුව මහජන සෞඛ්‍ය
පරික්ෂක කේ.එස්.ටී. රංජන් මහතා පවසයි.
තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ හෝටලයක ඉකුත් මස 22 වැනිදා මෙම මංගල සාදය පවත්වා ඇති අතර
එහි මනාල තරුණයා පසුගියදා කොරෝනා ආසාදිත බවට හඳුනාගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
කාර්යාලය කියයි. මොහු කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කුඩා වැල්ල ප්‍රදේශයේම
පදිංචි මනාලිය සහ මංගල සාදයට සහභාගි වූ මනාල යුවළගේ ඥාතීන් ඇතුළු කුඩාවැල්ල ප්‍රදේශයේ
පවුල් 6ක 25 දෙනකු නිරෝධායනය කළ බව මහජන සෞඛ්‍ය පරික්ෂක කේ.එස්.ටී. රංජන් මහතා
පැවැසීය. එම මංගල සාදයට සහභාගි වූ 150 පමණ පිරිස අහඹු පීසීආර් පරික්ෂණය සඳහා යොමු කර
ඇතැයිද හෙතෙම කීවේය.

ගල්ගමුව
ගල්ගමුව මූලික රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු සාත්තු සේවිකාවක් හා කාර්ය මණ්ඩල සේවිකාවන් තිදෙනකු
ආසාදනය වීම නිසා ගැබිනි වාට්ටුව වසා දැමීමට සිදු වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දරු ප්‍රසූතිය සඳහා නේවාසිකව සිටි මවුවරුන් නිකවැරටිය හා අනුරාධපුර රෝහල් වෙත මාරුකර යවා ඇති
අතර ගල්ගමුව ප්‍රදේශයේ දරු ප්‍රසූතිය සඳහා සිටින මවුවරුන්ට වෙනත් රෝහල් කරා යන ලෙස සෞඛ්‍ය
අංශ විසින් උපදෙස් දී ඇත.
මේ වන විට ගල්ගමුව සෞඛ්‍ය බලප්‍රදේශයෙන් වයිරසය ආසාදනය වූ රෝගීන් 53ක් හඳුනාගෙන ඇති බවත්
එයින් ගල්ගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිසියේ සිවු දෙනකු සිටින බවත් සඳහන්ය.
එසේම මහෙස්ත්‍රාත්  අධිකරණයේ අධිකරණ කටයුතු පැවැත්වීම මේ සතියේ තාවකාලික අත්හිටුවීමට තීරණය
කර ඇත.
මෙයට හේතු වී ඇත්තේ ගල්ගමුව පොලිසියේ අධිකරණ කටයුතු මෙහෙයවන නිලධාරියාට කොරෝනා වයිරසය
ආසාදනය වීමයි. මේ වන විට ප්‍රදේශයෙන් ආසාදිතයන් 53ක් හඳුනාගෙන ඇත.

දෙවිනුවර

දෙවිනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව ආසාදිතයින් 22 දෙනෙකු හදුනාගත් බව දෙවිනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කපිල ගමගේ මහතා  පැවසීය.
 මෙම ආසාදිතයින්ගෙන් 13දෙනෙකු පිරිමින් වන අතර අදතෙකු කාන්තාවන්ය. පිරිමි කොරෝනා වෛරසය ආසාදිතයින් නිවෙස්වලම ප්‍රතිකාර ලබමින් සිටින අතර කාන්තාවත් ප්‍රතිකාර ලබාදීම සදහා රෝහල් ගත කිරීමට පියවර ගත් බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කපිල ගමගේ මහතා පැවසීය.


යාපනය

සෞඛ්‍ය නීතිරීතීන්ට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් යාපනය කල්වියන්කාඩු පොදු වෙළෙඳ සංකීර්ණය වසා දැමීමට යාපනය මහනගර සභාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් ක්‍රියා කොට තිබේ.
මෙම වෙළෙඳපොළ ආශ්‍රිතව සෞඛ්‍ය නීතිරීතීන් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පෙරේදා 08දා උදෑසන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ප්‍රදේශය නිරීක්ෂණය කොට ඇති අතර එහිදී අනාවරණය වූයේ බොහෝ පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිනොපදින බවයි.

 කලවාන
 කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලවාන නගරය ඇතුළු ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් වසා දැමීමට පියවර ගත් බව සබරගමුව පළාත් සෞඛ්‍ය ස්වා අධ්‍යක්ෂ වෙද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කළේය.
කලවාන නගරය. කොත වෙම්බියගොඩ, වතුරාව, දෙල්ගොඩ ,වැද්දාගල, පනාපොළ, හපුගොඩ, පොතුපිටිය ඇතුළු ග්‍රාම නිලධාරි වසම් මෙලෙස වසා දැමීමට පියවර ගත් බව පළාත් සෙබ ප සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. ඊයේ (09) දින ලැබුණු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව වැඩිම පිරිසක් දැනට වසා දැමු ග්‍රාම නිලධාරී වසම්වලින් වාර්තා මත බවත් එම සංඛ්‍යාව අනුහයක් (96) ක් වන බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. මේ වනවිට කලවාන  කොට්ඨාසයේ ආසාදනය වූ පුද්ගලයන් එකසිය අසූතුන් (183) ක් වාර්තා වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.


හමිබන්තොට මිදෙණිය
 මිදෙණිය පොලිස් වසමට අයත් ප්‍රදේශ කිහිපයකින් කොරෝනා රෝගීන් හත්දෙනෙකු සොයාගෙන තිබේ.
මෙම රෝගීන් හමුවී ඇත්තේ මෑලකැටිගොඩ, ගල්පොත්තයාය, ඕකන්දයාය, තලව යන ප්‍රදේශවලිනි. මොවුන් ප්‍රතිකාර සදහා හමිබන්තොට මූලික රෝහල වෙත යොමුකර තිබේ. මිට අමතරව මිදෙණිය පොලිස් වසම තුළ පවුල් 30ක පුද්ගලයින් 106 දෙනකු වය නිරෝධායනයට ලක්කර ඇතැයි මිදෙණිය කොරෝනා මර්දන කමිටු නිලධාරි මිදෙණිය පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ඩී. කේ. කුමාර මහතා පැවසුවේය.


 කළුතර
 කළුතර මංගල උත්සවයක් හා කිරි අම්මාවරුන්ගේ දානයක් හේතුවෙන් හටගත් කොරෝනා පොකුරක් හේතුවෙන් කළුතර නාගොඩ විජිත මාවත පෙරේදා (08) සිට වසා දමා ඇත.  මෙම කොරෝනා පොකුරේ රෝගීන් 35 දෙනෙකු ඊයේ (09 දා) උදේ වන විට හදුනාගෙන තිබු අතර මනාල යුවළද ඒ අතර වේ.
විජිත මාවතේ එක් නිවසක මංගල උත්සවයක් හා තවත් නිවසක කිරි අම්මාවරුන්ගේ දානයක් පවත්වා ඇති අතර ඒවා සඳහා සෞඛ්‍ය බලධාරිගේ අවසරයක් ලබාගෙන නොතිබූ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. පී. සිංහබාහු මහතා කීය.
මෙම ප්‍රදේශයේ තවත් රෝගීන් සිටී නම් හඳුනා ගැනීම සඳහා දිගින් දිගටම පීසීආර් පරිණ සිදු කෙරෙන අතර ඒවායේ ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇති බවද ඒ මහතා කීය.

වලල්ලාවිට
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, පන්නිල දකුණ ග්‍රාම සේවා වසමේ, හිදල කනත්ත පාරේ එකම පවුලේ, පියා, මව සහ දිවණිය යන තිදෙනාටම කොවිච් 19 වෙරසය ආසාදනය වී ඇතැයි ඒ සඳහා 7 දින සිදුකළ පී. සී. ආර්. පරිණවලදී අත්‍යවරණය වී තිබෙන බව.
 ඉත්තෑපාත මහජන සෞඛ්‍ය පරික්‍ෂක ආර්. පී. එච්. රනදික මහතා පැවැසිය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ රැකියාවක නිරතව සිටියදී ඇතිවූ රෝග ලක්‍ෂණවලට අනුව එම තැනැත්තා සමඟ පවුලේ සෙසු උදවිය පී. සී. ආර්. පරිසරවලට යොමුකිරීමත් අනතුරුව ඔවුන් ආසාදිතයත් බවට තහවුරු වී තිබේ. මේ වන විට එම රෝගීන් තිදෙනාම ඔවුන්ගේ නිවස තුළම නිරෝධායනය කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

 මතුගම

මතුගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ඇතුළු නිලධාරීන් පස් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමග එහි ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් 25 දෙනකු පමණ නිරෝධායනයට යොමු කළ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී. ලයනල් මතා පැවැසීය.  මතුගම මුලස්ථාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ උප පොලිස් පරික්ෂකවරයකුට මීට දින කිහිපයකට ඉහතදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වූ අතර, ඉන් අනතුරුව පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්  පරික්ෂකවරයාට ද කොරෝනා වයිරසය වැළඳී ඇති බව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී තහවුරු විය.  ඉන් අනතුරුව මතුගම පොලිසියේ නිලධාරින්ට පී.සී පරීක්ෂණ සිදුකර ඇති අතර, රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු තිදෙනකුට වයිරසය ආසාදනය වී ඇති බව එහිදී තහවුරු වී ඇත. මෙසේ නිලධාරින් පස් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමග මතුගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 25 දෙනකු පමණ නිරෝධායනයට යොමුකර ඇත.
 මතුගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් 25 දෙනකු පමණ නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති නිසා, අවට පොලිසිවලින් නිලධාරින් යොදවා පොලිස් ස්ථානයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත් මතුගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පරාක්‍රම උඩවත්ත මහතා පැවැසීය.


කටුනායක

කටුනායක ප්‍රදේශයේ ඊයේ (09) කොරෝනා ආසාදිතයන් 31 දෙනකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවැසීය. කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පිහිටි කර්මාන්ත ශාලා තුළ සේවය කරන සේවකයෝ 19ක් කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී සිටිති. ඒ අනුව මේ දක්වා මෙම කලාපය තුළ පිහිටි කර්මාන්ත ශාලා 5ක සේවය කරන සේවකයෝ 1433 දෙනෙක් කොරෝනා ආසාදිතයන් වී සිටිති.



මිනුවන්ගොඩ

 මිනුවන්ගොඩ නගරයේ පිහිටි මුලය සමාගම් කාර්යාලයක සේවක සේවිකාවන් 6දෙනකුට කොවිඩ් ආසාදිත බව ඉකුත් 3වැනිදා ලැබුණු පී.සී.ආර්. පරීක්ෂාණ වාර්තා අනුව හඳුනාගෙන ඇති බව මිනුවන්ගොඩ වැඩ බලන පරිපාලන  මහජන සෞඛ්‍ය පරීක කේ.ඩී.ආර්. සංජිව මහතා ඊයේ පැවැසීය. එම ශාඛාවේ එක් සේවකයකු ආසාදිතයකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව එහි සේවය කළ සේවක සේවිකාවන් 20 දෙනකු නිරෝධායනයට ලක්කර සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් මෙසේ 6 දෙනකු හඳුනාගෙන තිබේ. එම ශාඛා කාර්යාලය විෂබීජහරණයට ලක්කර වෙනත් සේවක මඩුල්ලක් යොදවා කාර්යාලීය කටයුතු ආරම්භ කරන ලෙසට පාලන අධිකාරියට දැනුම් දී ඇතැයි වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සංජීව මහතා කීය.


වත්තල

 වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වත්තල හා මහබාගේ පොලිස් වසම් තුළ කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යාමේ අවදානම හේතුවෙන් ග්‍රාම නිලධාරී වසම් හතක් හුදකලා කළ බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය සඳමාලි මහත්මිය පැවැසුවාය.  ඒ අනුව වත්තල පොලිස් බලප්‍රදේශයට අයත් කෙරවලපිටිය, හේකිත්ත, පල්ලියවත්ත දකුණ, වත්තල නගර මධ්‍ය ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කර තිබේ. මීට පෙර හැඳල කුරුඳුහේන ග්‍රාම නිලධාරි කොට්ඨාසය හුදෙකලා කර තිබුණි. මෙම මහබාගේ පොලිස් වසමට අයත් මත්තුමගල, කරගපොකුණ, ගල්පඩුපිට යන ග්‍රාම නිලධාරි කොට්ඨාස ද හුදෙකලා කර තිබේ. මෙම හුදෙකලා කර ඇති මෙම ග්‍රාම නිලධාරි කොට්ඨාසවල පිහිටි වත්තල-මාබෝල නගර සභාව, වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද සති දෙකක් යනතුරු වසා දමා තිබේ.


 මීගමුව  කුරණ

 මීගමුව කුරණ ග්‍රාම සේවා වසම් දිනෙන් දින කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් පෙන්නුම් කළ බැවින් ඉකුත් 8 වැනිදා එක් නිවෙසකින් දෙදෙනා බැගින් තෝරාගෙන එකසිය අසූපස් දෙනකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගණයේ සිදුකළ මෙම පී.සී.ආර්. පරික්ෂණ සඳහා රංග මදුරාවල, මංජුල සම්පත් හේවාවසම්  යන මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමග මීගමුව ප්‍රධාන  මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.ඒ.යූ.කේ. ගුණරත්න මහතා ද සහභාගි වූහ.


ගම්පහ

ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෛනිකව හමුවන කොරෝනා ආසාදිත පිරිස වැඩිවන බවත් ඊෙය් උදෑසන වනවිට ගතවූ පැය 24ක කාලයේ ආසාදිතයන් 521 දෙනකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි. පැය 24ක කාලය තුළ 79 දෙනකු වන වැඩිම පිරිස දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් හමුව ඇති බවත් බියගම කොට්ඨාසයෙන් 62ක්, වත්තල සහ  ගම්පහ කොට්ඨාසයගෙන් 56 බැගින් ද, මහර 42ක්, දිවුලපිටිය 41ක්, ජාඇල 34ක් , මීරිගම 33ක්, අත්තනගල්ල 25ක්, කටාන 23ක්, සීදුව 22ක්, මිනුවන්ගොඩ සහ කැලණිය කොට්ඨාසයගෙන් ආසාදිතයන් 18 දෙනකු බැගින්ද වැඩි වශයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය  නලීන් ආරියරත්න මහතා පැවසීය.  පැය 24ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ආයෝජන කලාපයට අයත් කටුනායක සහ බියගම කර්මාන්තශාලාවලින් හා වෙනත් කර්මාන්තශාලාවලින් ආසාදිතයන් 43 දෙනකු හමුව ඇත.

මෙම ආසාදිතයන් හමුවීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ක්ෂේත්‍රයෙන් සිදු කළ පරීක්ෂාවලදී 465 දෙනකු සහ රෝහල්වලින් සිදු කළ පරීක්ෂණවලදී ආසාදිත 56 දෙනකු වශයෙන් වන බවත් මේ වනවිට කොවිච් දෙවැනි රැලේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ උදෑසන වනවිට හමුව ඇති ආසාදිත පිරිස 23,836 දෙනකු බවත් අධ්‍යක්ෂවරයා කීය. මේ අතර ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ආසාදිතයන් වශයෙන් හඳුනාගැනෙන තත්වයක් පවතින බව ද හෙතෙම සඳහන් කළේය. ඊයේ වනවිට දිස්ත්‍රික්කයේ කොවිච් ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි පවතින ඇඳන් 511න් ඇදන් 416 පිරී තිබූ බව සඳහන් කළ අධ්‍යක්ෂ නලීන් ආරියරත්න මහතා, ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 13,918 දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇති බව ද කීය.


 වාද්දුව නාරම්පිටිය

 වාද්දුව මහජන සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයට අයන් නාරම්පිටිය ග්‍රාම සේවා වසමට පනවා තිබූ සංචරණ සීමා ඊයේ (2) උදෑසන සිට ඉවත් කිරීමට කටයුතු යෙදූ බවත්, ඒ අනුව එම ග්‍රාම සේවා වසමේ වයස අවුරුදු 30-59 අතර වයස් කාණ්ඩයට අයත් 340 දෙනකුට චිනය විසින් නිෂ්පාදනය කරන ලද sinopharm  එන්නත ලබාදීමට අද  කටයුතු යොදා ඇති බවත් වාද්දුව මහජන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය රන්ජන්ද සිල්වා මහතා පැවැසීය.  එසේ මෙම එන්නත 11 වැනිදා වාද්දුව නගරයේ පිහිටි පානදුර ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය, රාජ්‍ය බැංකු හා දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය ඇතුළු මහජනතාව ගැවැසෙන රාජ්‍ය ආයතන හා අනෙකුත් අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ලබාදීම වාද්දුව විජය කුමාරතුංග අනුස්මරණ ශාලාවේදී සිදුකිරීමට වාද්දුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ, පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඒ.ඩී. සනන්ක මහතාගේ අධීක්ෂණය යටතේ අදාළ බලප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් කටයුතු යොදා ඇත.

එසේම මෙම එන්නත 12 වැනිදා වාද්දුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයට අයත් කුඩා වස්කඩුව බටහිර හා උතුර ග්‍රාම සේවා වසම්වල මෙම වයස් කාණ්ඩවල අයට ලබාදීමට කටයුතු යොදා ඇති බවත් මේ වනවිට කුඩා වස්කඩුව බටහිර හා උතුර ග්‍රාම සේවා වසම්හි කොවිඩ් 19 ආසාදිතයන් බහුලව ඇති අතර එම ආසාදිතයන් හා ඔවුන් ඇසුරු කළ සමීපතමයින් විශාල පිරිසක් නිවෙස්වල නිරෝධායනය කර ඇතත්, එම නියෝග නොතකා සමහර පිරිස් සංචරණය කිරිම හා වෙළඳසල් විවෘතව තැබීම තුළින් මෙම රෝගය පැතිරීමේ අවදානම වැඩිවීම හේතුකොට ගෙන අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට උපදෙස් ඉල්ලා ඇතැයි වාද්දුව මහජන සෞඛ්‍ය  වෛද්‍ය රන්ජන් සිල්වා මහතා පැවසීය.  මේ වනවිට වස්කඩුව, මහා වකඩුව උතුර ග්‍රාම සේවා කොට්ඨාසයට සංචරණ සීමා පනවා ඇත.


මදුරාවල

මදුරාවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පසුගිය සති දෙක තුළ කොරෝනා රෝගීන් 116ක් හමුව මරණ 2ක් සිදුව ඇති බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පවසන්නීය.  මෙයින් වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ අඟුරුවාතොට 17, නාහල්ල 14, වල්පිට 9ක් සහ වරකාගොඩ  බටහිර 7ක් වශයෙනි.  මෙම කාලය තුළ පිරිමියකු සහ කාන්තාවක වශයෙන් බලප්‍රදේශයේ පුද්ගල මරණ 2ක් නිවවැවල්ත්ත ග්‍රාම නිලධාරි වසමෙන් වාර්තා වී ඇති බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

මීරිගම

මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 70ක් ඊයේ (9) උදේ වනවිට තවමත් නිවෙස්වල සිටින බව එම කාර්යාලය සඳහන් කරයි. පිරිමි 25ක් හා කාන්තාවෝ 45ක් මේ අතර වෙති.  ඔවුන් ආසාදිතයන් බව පී.සී.ආර්. පරික්ෂණවලින් හෙළිවී ඇති අතර, ඔවුන් ඉක්මනින්ම අතරමැදි ස්ථාන කරා යවා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කරන බව ද එම කාර්යාලය කියයි.


ජාඇල ඒකල

ජාඇල ඒකල නිවාසිපුර නිවසක රෝගාතුර වූ හැත්තෑ එක්  හැවිරිදි කාන්තාවක ගම්පහ රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත් කිරිමේදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.  පසුව සිදුකෙරුණ පී.සී.ආර්. පරික්ෂණයේදී ඇය කොවිඩ් රෝගය ආසාදිත වූවකු බව තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි. ඇයගේ ආදාහන කටයුතු 09 වැනිදා ගම්පහ පොදු සුසාන  භූමියේ ආදාහනාගාරයේදී සිදු කිරිමට නියමිතව තිබූ අතර, ඇයගේ ආශ්‍රිතයෝ මේ වනවිට නිරෝධායනයට ලක් කරනු ලැබ සිටිති.

 දොම්පේ

 දොම්පේ ඉකුත් දින දෙක තුළදී කොවිඩ් ආසාදනය වූ 96 දෙනකු වාර්තා වී ඇතැයි දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. පසුගිය දිනවල සිදු කළ පී.සී.ආර්. පරික්ෂණ 400ක වාර්තාවන් අනුව මෙම තොරතුරු හෙළිවී යැයි දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඩී.ඒ. බණ්ඩාරනායක මහතා පැවැසීය.  මේ අනුව එම කොට්ඨාසයෙන් වාර්තා වී ඇති රෝගී පිරිස 1520ක් දක්වා වැඩිවී ඇති බව ද ඒ මහතා පැවසුවේය. කොට්ඨාසයෙන් මරණ 7ක් වාර්තතා වී තිබූ බව බණ්ඩාරනායක මහතා සඳහන් කළේය.

 මහර
 මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ඉකුත් දිනය 07 වැනිදා තුළදී කොරෝනා රෝගීන් 62ක් වාර්තා වී ඇති බව එම කාර්යාල තොරතුරු අනුව වාර්තා වේ. ඒ අනුව එම කොට්ඨාසයෙන් වාර්ත වී ඇති සමස්ත රෝගීන් ගණන 2202ක් දක්වා වැඩි වී ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිහාල් ගමගේ මහතා පැවැසීය.  මහර කොට්ඨාසයෙන් මෙතෙක් වාර්තතා වී රෝගී මරණ ගණන 19ක් බව පැවසූ ගමගේ මහතා, කඩවත, ඇන්දෙණිය, ඉහළ කරගහමුණ, පහළ කරගහමුණ, ඇටිකෙහෙල්ගල්ල, හේනේගම යන කොට්ඨාසවලින් රෝගීන් වැඩියෙන් වාර්තතා වී ඇති බව ද කීවේය. දිනකට පී.සී.ආර්. පරික්ෂණ 300ක් පමණ සිදු කරන බව ද ගමගේ මහතා පැවසුවේය.


මිගමුව

මිගමුව දිසා මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකින් පසු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් අයකු ඉකුත් 9 වැනිදා මියගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක මංජුල සම්පත් හේවාවසම් මහතා පවසයි. මියගිය අය පපුවේ හතිය සඳහා මීගමු රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය විට එහිදී පී.සී.ආර්. පරික්ෂණය සිදුකළ බව කියයි.  මීගමුව පොදු සුසාන භූමියේ දී ආදාහන කටයුතු සිදු කෙරිණි.

මල්වාන

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මල්වාන   යටිහේන ප්‍රදේශයේ දෙදරු පියකු පෙරේදා (08 වැනිදා)  පස්වරුවේ මියගොස් ඇතැයි බියගම පොලිසිය පවසයි.  මියගොස් ඇත්තේ මල්වානේ යටිහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි මුස්ලිම් ජාතික දෙදරු පියකු බව ද පොලිසිය සඳහන් කරයි.මොහු ඉකුත් 5 වැනිදා බදාදා පපුවෙ අමාරුවකට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර, එහිදී සිදු කළ පී.සී.ආර්.  පරික්ෂණයකදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වූ බවත් පොලිසිය කියයි.  මේ තුන්වැනි කොරෝනා රැලෙන් බියගම පොලිස් බලප්‍රදේශයේ කොරෝනා ආසාදනය වී සිදු වූ පළමුවැනි මරණය මෙය වන අතර දෙවැනි කොරෝනා රැල්ලේදී ද එක මරණයක් සිදු වූ බව ද පොලිසිය කීය.

කතරගම

කතරගම නගරය හා පූජා භූමියේ මෙන්ම සෙල්ල කතරගම නගර ද මූලික කරගෙන සිටින යාචකයන් සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය නොකිරීම නිසා ප්‍රදේශයේ ජතතාව මෙන්ම වන්දනාවේ පැමිණද කෝවිඩ් වසංගතයට ලක්වීම වළක්වා ගැනීමට ඉතා ඉක්මනින් වැඩපිළිවෙළක් සකසිය යුතුයි කතරගම මහජන සෞඛ්‍ය පරිපාලක නිලධාරී සමන් දිසානායක පැවසීය. මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,"කතරගම නගරයෙහි සිටින යාචකයන් කතරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් මීට පෙරද කැදවා ඔවුන් දැනුවත් කිරිමෙන් පසු රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා මොවුන්ට ආහාරපාන වස්ත‍්‍රද ලබාදී රිදිගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කළද ඔවුන්ථම ස්ථානයෙන් නැවත සුපුරුදු පරිදි සිය ජීවිකාව ගෙන යනවා.යම් හෙයකින් මේ එක් අයෙකුට හෝ කෝවිඩි වයිරසය වැලදී තිබුණහොත් සෙසු පිරිසට වෛරසය බෝවීමේ ප්‍රවණතාව ඉතා ඉහළයි. ඒ අතරම මොවුන් සිගමන් යැදීමේදී දුරස්ථභාවය ගැන සැලකිලිමත් නොවීම, මුඛ ආවර නොපැලදීම වැනි මූලික ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම වෛරසය වැලදීමට මනා පිටුවහලක් වෙනවා. ඒ නිසා මෙම තත්වය වළක්වා ගැනීමේ අරමුණින් මොවුන් ඉතාමත් ඉක්මනින් කතරගම පූජා භූමිය, සෙල්ලකතරගම පූජා භූමිය හා නගරයෙන් ඉවත් කොට ඔවුන් ආරක්ෂිත ස්ථානයට යොමු කිරීමට කතරගම ප්‍රාදේශීය ලේකම්තුමා සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමා සමග සාකච්ඡා කොට වැඩපිළිවෙළක් සකස්කරනවා.මේ වනවිට වෛරසට ආසාදිත වූ හත්දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් 82දෙනෙකු නිවෙස් තුළ නිරෝධායනයට යොමු කර තිබෙනවා” යැයිද පවසා සිටියේය.


බෙලිඅත්ත

දැනට පවතින කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශයේ උපදෙස් මත බෙලිඅත්ත නගරයේ පොදු වෙළඳ පොළ හා නගරයේ සියලුම කඩ සාප්පු අද (10) සිට තෙදිනක් වසා තැබීමට තීරණය කළ බව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා පැවසීය.මෙම ප්‍රදේශයෙන් දෛනිකව ආසාදිතයන් වාර්තා වන බැවින් ජනතාව ඒකරාශීවීම වැළැක්වීම සදහා මෙම පියවර ගත් බවත්, අත්‍යවශ්‍ය කරුණකට හැර නගරයට පැමිණීමෙන් වළකින ලෙසත් සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දංකොටුව

දංකොටුව කොස්වත්ත පොලිස් වසමේ මැද කිරිමැටියාන ග්‍රාම නිලධාරී වසමේ පවුල් 25 ක පමණ සාමාජිකයන් ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කර ඇත. කිරිමැටියාන නගරයේ පිහිටි උත්සව ශාලාවක පසුගිය දෙවැනිදා විවාහ මංගල්‍යයක් පවත්වා ඇත. දෙපාර්ශ්වයේ සියලුම දෙනා මැදකිරිමැටියාන ග්‍රාමවාසීන්ය. හෙයින් එම ගමේ පවුල් 25 ක පමණ ඉතා කිට්ටු ඥාති හිතවතුන් පිරිසකට පමණක් ඒ සඳහා ආරාධනය කර ඇත.
එම විවාහ මංගල උත්සවයට සහභාගිවූ පිරිසෙන් එක් අයෙකු කොරෝනා ආසාදිතයකු ලෙස පසුව හඳුනාගෙන ඇත. ඒ නිසා එම විවාහ මංගල උත්සවයට සහභාගිවූ මැද කිරිමැටියාන ග්‍රාමයේ පදිංචිකරුවන් එම නිවෙස්වලම නිරෝධායනය කිරීමට ස්‍යෙඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ. මේ මස 20 වන දිනතෙක් එම නිවැසියන්ට තම නිවෙස්වලින් පිටත නොයන ලෙස උපදෙස් ලබාදී ඔවුන් හුදකලා කර ඇත.

මහනුවර

මහනුවර දිස්ත්‍රික්කයෙන් පෙරේදා (08 වැනිදා) පෙරවරුවේ සිට ඊයේ (09 වැනිදා) පෙරවරුව දක්වා වූ කාලය තුළ නව කොවිඩ් ආසාදිතයන් 168ක් හමුවී ඇත. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 6798 දක්වා ඉහළ ගොස් ඇතැයි මධ්‍යම සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මදුරාවල

මදුරාවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පසුගිය සති දෙක තුළ කොරෝනා රෝගීන් 116ක් හමුව ඇති බවත් කොරෝනා හේතුවෙන් පුද්ගල මරණ 02ක් සිදුව ඇති බවත් මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න පැවසුවාය.
වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇති ග්‍රාම නිලධාරී වසම් වන්නේ අඟුරුවාතොටින් 17ක්, නාහල්ලෙන් 14ක්, වල්පිටින් 9ක් සහ වරකාගොඩ බටහිරින් 7ක් වශයෙනි.

තඹුත්තේගම

තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් 52ක් හමුවී ඇති බව තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්ලිව්.පී.එස්.එන් වාසල පවසයි.
මකුලෑව,නල්ලච්චිය,තෙල්හිරියාව, බෙල්ලන්කඩවල, තම්මැන්නාගම, තම්මැන්නාව ග්‍රාමනිලධාරී වසම්වලින් මෙම රෝගින් හඳුනාගෙන ඇත. වැඩිම රෝගීන් ගණන වන 23ක් වාර්තා වී ඇත්තේ තෙල්හිරියාව ග්‍රාමනිලධාරී වසමේ තොත්මල්පුර ගම්මානයෙනි.

මාතලේ

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වන විට මරණ 19ක් වාර්තා වී ඇත. සමස්ත රෝගීන් සංඛ්‍යාව 2349 දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය පැය 24 තුළ නව රෝගීන් 54 දෙනකු වාර්තා වී ඇත. උකුවෙලින් 12ක්, ගලේවෙලින් 09ක්, මාතලේ මහ නගර සීමාවෙන් 08ක්, රත්තොටින් 07ක්, අඹන්ගඟකෝරලයෙන් 03ක්, පල්ලේපොලින් 03ක්, නාඋලින් 02ක්, දඹුල්ල නගර සීමාවෙන් 02ක්, දඹුල්ලෙන් එක් රෝගියෙක් හා දිස්ත්‍රික්කයෙන් පිටත රෝගීන් 04 දෙනෙක් වශයෙන් වාර්තා වී තිබේ.

වත්තල

වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 07ක් මේ වන විට හුදෙකලා කොට ඇති බව වත්තල සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඒ අනුව හේකිත්ත, පල්ලිය වත්ත පාර දකුණ, කෙරවෙලපිටිය ග්‍රාම නිලධාරී වසම්, වත්තල මාබෝල නගර සභා බල ප්‍රදේශයට අයත් වත්තල, මත්තුමගල, කෙරගපොකුණ සහ ගල්උඩපිට යන ග්‍රාම නිලධාරී වසම් මේ වනවිට වසා දමා ඇත. වත්තල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මෙම තොරතුරු හෙළි කළේය.
හුදෙකලා කොට ඇති ග්‍රාම නිලධාරී වසම් තුළ 20000කට අධික ජන කොටසක් වාසය කරන බව වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
මේ වනවිට වත්තල ප්‍රාදේශීය සභා ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 2815ක් හඳුනා ගෙන ඇති අතර මරණ 14ක් වාර්තා වී තිබේ.

කොඩිගාමම් හා තෙන්මරන්චි

යාපනයේ හුදෙකලා කළ කොඩිගාමම් හා තෙන්මරන්චි යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් 28ක් ඉකුත් 08 දා වන විට හඳුනාගෙන ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
එම රෝගීන් යාපනය කෝපායි ප්‍රදේශයේ කොරෝනා මර්දන රෝහලක් වෙත යොමු කොට ඇත. ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් 38 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කොට තිබේ.

මොරපිටිය

කොරෝනා ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති බදුරලිය, මොරපිටිය ග්‍රාම නිලධාරී වසමේ අඹේගොඩ, එස්පී මාවත, පැලැඳ යන ප්‍රදේශවලට අයත් පවුල් 300ක් පසුගිය 30 දින සිට හුදෙකලාවට ලක්ව සිටී. මේ වනවිට ඔවුහු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටිති.
තේ දලු නෙළා අලෙවි කිරීමෙන් එදිනෙදා ජීවන වියදම සොයාගන්නා මෙම ප්‍රදේශවාසීන් හට දැඩි සංචරණ නීති නිසා එම ආදායමද අහිමි වී ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනී‍ම මාර්ග අවහිර වීමෙන් දැඩි අසීරුතාවකට ඔවුහු ලක්ව සිටිති.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් 70කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති මෙම ප්‍ර‍දේශයේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා 60ක් ලැබීමට නියමිතව ඇත. නිරෝධායනයට ලක් කර ඇති පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ලබාදීම සිදුකළ බව ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයා පැවසීය.

තිස්සමහාරාමය

තිස්සමහාරාම, පන්නගමුව හා දෙබරවැව ඇතුළු තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන සියලු පොළවල් සතියක් වසා දැමීමට පියවර ගත් බව තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්.ජී. උපුල් පැවසීය. කොරෝනා වයිරසයට පුද්ගලයන් අසූ දෙනෙක් ගොදුරු වී ඉන් දෙදෙනකු පෙරේදා (08 වැනිදා) මිය ​ගොස් ඇත.

පදියතලාව
සිංහල - දෙමළ අවුරුද්දෙන් පසු පදියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් ඇත.
අවුරුදු සමයෙන් පසු පදියතලාව නගරය සහ ඒ අවට ප්‍රදේශවලින් කොරෝනා නව රෝගීන් හතළිස් තුනක් හඳුනාගෙන තිබේ. සියයට අධික පිරිසක් නිරෝධායනට ලක් කිරීම නිසා ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමට යුද හමුදාවේ සහාය ලබා ගෙන ඇත.

ලුණුගම්වෙහෙර

ලුණුගම්වෙහෙර සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් තිදෙනකු ඊයේ (09 වැනිදා) හමුවීමත් සමග එම ප්‍ර‍දේශයෙන් හමුවූ අලුත් අවුරුදු කොරෝනා පොකුර 19 දක්වා ඉහළ ගොස් ඇත.
එම කොරෝනා ආසාදිතයන් 19 දෙනාගෙන් 14 දෙනකු ලුණුගම්වෙහෙර නව නගරයෙහි පදිංචිකරුවන් බව ලුණුගම්වෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමින්ද කොඩිතුවක්කු පැවසීය.

නාඋල

කොවිඩ් නව ආසාදිතයන් එකොළොස් දෙනෙක් නාඋල සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයෙන් හඳුනාගනු ලැබ ඇත. පළමු සහ දෙවන ශ්‍රේණීන්හි ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකු සහ 8 වැනි ශ්‍රේණියේ ළමුන් දෙදෙනකුද ඒ අතර වෙති. හුදෙකලා කර ඇති නාඋල, අළුගොල්ල ග්‍රාමසේවා බල ප්‍රදේශයෙන් පාසල් ළමුන් හමුව ඇත. ඔවුහු කඩිනමින් රෝහල් ගත කරන්නට පියවර ගෙන තිබේ.


බද්දේගම
බද්දේගම සෞඛ්‍ය බල ප්‍රදේශයේ ඊයේ (09 වැනිදා) වනවිට කොවිඩ් වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 15 දෙනකු වාර්තා වී ඇත. ඉඳිගස්කැටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවිකාවන් 11 දෙනෙක්, හික්කඩුව ප්‍රදේශයේ අයිස් කම්හලක සේවයේ නියුතු ගිනිමැල්ලගහ ප්‍රදේශයේ සේවකයන් දෙදෙනෙක්, වේවැල්දෙණිය ප්‍රදේශයේ එක් අයෙක්, කොග්ගල ඇඟලුම් කම්හලක සේවයේ නියුතු තලාව ප්‍ර‍දේශයේ අයෙක් ලෙස මෙම ආසාදිතයන් 15 දෙනා වාර්තා වී ඇත.

ගම්පහ ජාත්‍යන්තර පාසල

ගම්පහ නගරයේ පිහිටි ජාත්‍යන්තර පාසලක් මගින් පැවැත්වූ තරග විභාගයකින් අනතුරුව එම ජාත්‍යන්තූර පාසල් කාර්යමණ්ඩලයට අයත් වූ 08දෙනෙකුට කෝවිඩ් ආසාදිතයන් බවට වාර්තා වී ඇතැයි ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමින්ද සමරදිවාකර මහතා ඊයේ (09දා) පැවසීය.විදෙස් රටක උපාධියක් ලබා ගැනීමට පැවැති එම විභාගයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් තුන්සියයකට ආසන්න පිරිසක් සහභාගි වී ඇති බවත් එම විභාග මධ්‍යස්ථානය සොඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව සිදු කර ඇති බවත් හෙතෙම පවසා සිටියේය.විවිධ රෝග ලක්ෂණ මතු වීමෙන් අනතුරුව එම ජාත්‍යන්තර පාසල් කාර්යමණ්ඩලය විවිධ ස්ථානවලින් සිදු කළ පී.සී ආර්.පරිවලින් අනතුරුව ඔවුන් ආසාදිතයන් බවට ගම්පහ සොඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත තොරතුරු ලැබී ඇති බවත් එම විභාග මධ්‍යස්ථානයට පැමිණි අයෙකුගෙන් හෝ විභාග මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය අයෙකුගෙන් වෛරසය පැතිර ගොස් ඇති හෙයින් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදු කරන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමින්ද සමරදිවාකර මහතා වැඩිදුරටත් පැවසීය.


 ගම්පහ මහ නගර සභාව

ගම්පහ මහ නගර සභාවේ කාර්ය මණ්ඩලයේ සිවු දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු
කරගැනීමෙන් අනතුරුව ගිණුම් අංශය, පරිපාලන අංශය හා නගරාධිපති කාර්යාලය තාවකාලිකව වසා ඇති
බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතා සඳහන් කරයි.
10 වැනිදා (අද සිට) නගර සභා බල ප්‍රදේශයේ වරිපනම් බදු හා කඩ කුලී ගෙවීම් කිරීම සඳහා
විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි සඳහන් කරන පුරපතිවරයා අත්‍යවශ්‍ය කටයුතු සඳහා පැමිණෙන
ජනතාව වෙනුවෙන් නගර සභාව ඉදිරිපිට කාර්ය මණ්ඩලයේ පිරිසක් යොදවා ඇති බවත් සඳහන් කළේය.


නුවරඑළිය පොලිසිය

නුවරඑළිය පොලිසියේ නිලධාරීන් පස්දෙනකුට සහ නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ ස්ථාන පරීක්ෂක නිලධාරියකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
නුවරඑළිය පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට සහ පොලිස් රථවාහන අංශයේ සිව් දෙනකුට මීට ප්‍රථම කොවිඩ් ආසාදනය විණි. එම ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කර පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව නව ආසාදිතයන් හයදෙනා හඳුනාගෙන ඇත.

හලාවත පොලිසිය
හලාවත පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත. ඒ අනුව කොරෝනා තෙවන රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව හලාවත පොලිසියේ සේවය කරන නිලධාරීන් 4 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට පත්ව තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත.

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ජයවීර කොරෝනා ආසාදිතයකු වී ඇත. ඔහුට පැවැති රෝගවලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. එහිදී කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී සභාපතිවරයා කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඇත.

දිවුලපිටිය යකඩ කර්මාන්ත ශාලාව

දිවුලපිටිය, එරබැද්දේ යකඩ කර්මාන්ත ශාලාවකදී කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති ඉන්දියන් ජාතිකයන් දෙදෙනෙකු හමු වූ බව දිවුලපිටිය හා කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්.ඒ.යූටී කුලතිලක මහතා ඊයේ (09දා) දහවල් පැවසීය. මොවුන්ට වයිරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර් වාර්ත ලැබී ඇති බවක්මවුන් ප්‍රතිකාර සදහායවන් කුමන ස්ථානයකටද ය ඉක්මනින් තීරණයක් ගන්නා බවත් ඒ වගේම මොවුන් දෙදෙනාගේ වෛරස් ප්‍රභේදය පිළිබද පරික්ෂණයකට භාජන කළ යුතු බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා පවසා සිටියේය. කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයක් ඊයේ (09දා) උදෑසන කෝවිඩ් 19 වෛරසය ආසාදිතයන් හැටහයදෙනකු අලුතින් වාර්තා වී ඇති බව තවත් පී.සී.ආර්. වාර්තා ලැබීමට තිබෙන බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය. පී.සී.ආර්ථපරික්ෂණ සදහා යවන සාම්පල තැන්පත්කර තැබීමට රසායනාගාල ඉඩකඩ නොමැති වීම හේතුවෙන් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි සාම්පල 525ක් කටාන සොඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි සාම්පල 400ක් තාවකාලිකව ගබඩා කර තිබෙන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කළේය. මේ හේතුවෙන් ජේ.සී.ආර්. පරික්ෂණ සිදු කිරීමේ ප‍්‍රමාදයක් සිදුවී ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

 අගුණකොලපැලැස්ස බන්ධනාගාරය

 අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් විසිහත් දෙනෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව බන්ධනාගාරයෙන් වාර්තාවේ.
08 දින සිදුකල රැපිඩි ඇන්ටිජන් පරික්ෂාවකදී මෙම පිරිස හදුනාගෙන ඇත. මෙයට පෙර අවස්ථා කිහිපයකදී ද මෙම බන්ධනාගාරයේ රැඳවියන් හට කොවිඩ් - 19 රෝගය ආසාදනය වූ අවස්ථාවත් වාර්තා විය.

රජරට සරසවිය

මිහින්තලය රජරට විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් දස දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශයන් සඳහන් කරන අතර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ වයිරසය පැතිරී යාම පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙන බව තහවුරු කළේය.
දින කිහිපයක් තුළ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව කොවිඩ්-19 රෝගය වැලඳුණු රෝගීන් විශ්වවිද්‍යාලය තුළින් හමුව තිබෙනා අතර ඔවුන් අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන බව සෞඛ්‍ය අංශ පවසති.