covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 


බණ්ඩාරගම

කොරෝනා ආසාදිත 638 දෙනකු බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයන් භාවිතා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පැවැසුවාය. ඉකුත් අප්‍රේල් 19 දින සිට මේ දක්වා දින 28කදී එම රෝගීන් වාර්තා වී ඇතැයි ද එකී කාලය තුළ අට දෙනකු මරණයට පත්වී ඇති බැව් ද වෛද්‍යවරිය පැවැසුවාය.
රෝගීන් බහුලව වාර්තා වූ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාමසේවා වසම පමණක් හුදෙකලා කර ඇත.  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශය පුරාම මෙම රෝගීන් වාර්තතා වී ඇති අතර මහා අරුගොඩ, කුඩා අරුගොඩ, ගැලනිගම හා වෑවිට යන ග්‍රාම නිලධාරි වසවලින් රෝගීන් බහුලව වාර්තා වුවද රෝගීන්ගේ ප්‍රභවය හඳුනාගැනීමට හැකිවීම හේතූවෙන් සංචරණ සීමාවක් පැනවීමට අවශ්‍යතාවයක් පැන නොනගින බව වෛද්‍යවරිය කීවාය. වැඩිම රෝගීන් පිරිසක් බණ්ඩාරගම නගරය ආශ්‍රිතව සහ බණ්ඩාරගම නැගනහිර ග්‍රාමසේවා වසමින් වාර්තා වී ඇතැයි හෙතෙම පැවැසුවාය.

මතුගම

 මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් මේ වනවිට කොරෝනා ආසාදිත 300ක් පමණ වාර්තා වී ඇති බවත්, පසුගිය සතිය තුළ පමණක් කොරෝනා ආසාදිතයන් 100කට අධික පිරිසක් හඳුනාගත් බවත් මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ජේ.ඩී. ලයනල් මහතා පැවැසීය.  පසුගිය සතිය තුළ මතුගමින් කොරෝනා මරණ 05ක් ද වාර්තා වී ඇති අතර මේ වනවිට මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සයිනොෆාම් එන්නත ලබාදීම ආරම්භ කර ඇත.
මතුගම දැඩි අවදානම් කලාපවලට, රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලවලට, ප්‍රාදේශීය සභාවේ සේවක පිරිසට, ප්‍රවාහන සේවකයන්ට, වෙළඳ ප්‍රජාවට, භික්ෂූන්ට වහන්සේලාට, අධිකරණ කාර්ය මණ්ඩලයට, බැංකු කාර්ය මණ්ඩලවලට ඇතුළුව විශාල පිරිසකට එම එන්නත ලබාදී ඇති අතර පසුගිය 15 වනදා වනවිට එන්නත් 5000 කට අධික ප්‍රමාණයක් ලබාදී ඇත.
මතුගම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගයාත්‍රි විතාන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, හෙද සහ අනෙකුත් කාර්යමණ්ඩල විසින් ඉදිරියටත් මෙම එන්නත් කිරීමේ වැඩසටහන පවත්වාගෙන යන බවත්, මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ග්‍රාමීය ප්‍රදේශවලට සහ ඇඟලුම් කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ට ද මෙම සතිය තුළදී කොරෝනා මර්දන සයිනොෆාම් එන්නත ලබාදීමට බලාපොරොත්තු වන බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඩී. ලයනල් මහතා වැඩිදුරටත් පැවැසීය.

කළුතර
කළුතර දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාදිතයන් 191 ක් පෙරේදා (15 වැනිදා) වාර්තා වී තිබේ. පොලිස් වසම් මට්ටමින් එම රෝගීන් වාර්තා වූයේ මෙසේ ය.
දොඩම්ගොඩ 01, වරකාගෙඩ -13, පයාගල-12, බේරුවල - 06, දකුණු කළුතර - 22, මතුගම -11, වැලිපැන්න - 05, මීගහතැන්න - 02, බුලත්සිංහල -04, අගලවත්ත - 01, හොරණ -10, ඉංගිරිය - 07, මිල්ලනිය - 20, අඟුරුවාතොට -04, පානදුර දකුණ - 32, මොරාන්තුඩුව - 06, වාද්දුව -10 හා මොරගහහේන -15 වශයෙන් එම ආසාදිතයන් වාර්තා වී තිබේ.


පොළොන්නරුව
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක් පෙන්වන බවත් ඊයේ (16 වැනිදා) පෙරවරුව වන විට තුන්වැනි රැල්ලෙන් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 711 ක් බවත්, පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්. කේ. එස්. කේ. කුමාරවංශ පවසයි. ඊට අමතරව මේ වන විට පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමේ ප්‍රමාදය නිසා රෝගය පැතිරීමේ අවදානමක් පවතින බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
ඊට අමතරව මේ වන විට පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. පී.සී.ආර්.පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමේ ප්‍රමාදය නිසා රෝගය පැතිරීමේ අවදානමක් පවතින බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.
වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සහල් මෝලක සේවය කරන පුද්ගලයන් 300 කගේ කළ පීසීආර් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් 26 දෙනකු ආසාදිතයන් බවට තහවුරු වී ඇත. තවත් 100 දෙනකුගේ පමණ ප්‍රතිඵල ලැබීමට නියමිතය. එසේ හඳුනාගත් පළමු ආශ්‍රිතයන් සියලු දෙනා එම වීමෝල් කර්මාන්ත ශාලාවේම නිරෝධායනය කර තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ හා පොළොන්නරුව මහ රෝහලේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන මේ වන විට ආසාදිත රෝගීන්ගෙන් පිරී ගොස් ඇත.
හිඟුරක්ගොඩ මූලික රෝහලේ විශේෂ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ 200 ක්ද, ගල්ලෑල්ල විද්‍යා පීඨ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 400 ක්ද, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 800 ක්ද, පූනානිවල රෝගීන් 800 ක්ද, පූනානි බ්‍රැන්ඩික්ස් ආයතනයේ ස්ථාපිත කර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 300 ක්ද, වැලිකන්ද රෝහලේ රෝගීන් 100 ක්ද වශයෙන් රෝගීන් 2600 ක පිරිසකට සත්කාරක සේවා පවත්වාගෙන යනු ලබයි.




මීගොඩ

 මීගොඩ ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් තිදෙනකුට සහ සුළු සේවකයකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.  එම රෝහලේ සේවය කරන සේවකයකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් පසුගියදා සිදුකළ පී.සී.  ආර්. පරීක්ෂණවලින් අනතුරුව මෙම රෝගීහු හඳුනා තිබුණි. ඒ අනුව එම රෝගීන් රෝහලේ තාවකාලිකව ආරක්ෂිත  ස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉදිරියේදී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකරන බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවැසීය.

මාරවිල
මාරවිල මූලික රෝහල් කාර්ය මණ්ඩලයේ 20 කට කොවිඩ් ආසාදනය වී ඇත. එහි හෙද නිලධාරිනියන් දෙදෙනකු කොවිඩ් ආසාදිත බවට පසුගිය සතියේ අනාවරණය විය. එම හෙද නිලධාරිනියන් දෙදෙනා සේවය කරමින් සිටි දැඩි සත්කාර ඒකකය වසා දමන්නට පාලනාධිකාරිය කටයුුතු කළේ ය.

අනතුරුව පසුගිය 12 වැනිදා රෝහලේ සියලුම කාර්ය මණ්ඩලයට පීසීආර් පරීක්ෂණ සිදු කරන ලදී. එම පරීක්ෂණයේ ප්‍රතිඵල 15 වැනිදා ලැබී ඇත. එම ප්‍රතිඵලවලට අනුව වෛද්‍යවරුන් 05ක්, හෙද නිලධාරිනියන් 08 ක්, සුළු සේවකයන් 05 ක් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 02 ක් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

කළුතර

 කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ 09ක් පෙරේදා  (15) වාර්තා විය. ඒ මග්ගොන පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක්, පයාගල පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයකු. දකුණු කළුතර පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ඉංගිරියේ  පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයකු, හොරණ පදිංචිව සිටි 85 හැවිරිදි කාන්තාවක්, වාද්දුව පදිංචිව සිටි 81 හැවිරිදි හා 64 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනකු වශයෙනි.  ඊට අමතරව කලවාන ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයකු ද අගලවත්ත පිඹුර රෝහලේදී මියගොස් ඇත.


කළුතර දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාදිතයින් 191ක් පෙරේදා (15) වාර්තා වී තිබුණි. පොලිස් වසම් මට්ටමින් එම රෝගීන් වාර්තතා වූයේ මෙසේය.  ඒ දොඩම්ගොඩ 01, වරකාගොඩ 13, පයාගල 12, බේරුවල 06, දකුණු කළුතර 22, මතුගම 11 වැලිපැන්න 05, මීගහතැන්න 02, බුලත්සිංහල 04, අගලවත්ත 01, හොරණ 10, ඉංගිරිය 07, මිල්ලනිය 20, අඟුරුවාතොට04, පානදුර දකුණ 32, මොරොන්තුඩුව 06, වාද්දුව 10 හා මොරගහහේන 15 වශයෙනි.


ඉංගිරිය

ඉංගිරිය පොලිසියට අනුයුක්තව ස්ථාපිත කර තිබෙන 1990 සුවසැරිය ගිලන් රථයේ රියැදුරුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයක් පැවැසීය. එලෙස වයිරසය ආසාදිත වී ඇත්තේ ඉංගිරිය ඉමගිර ජනපදය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයකුටය. ඉකුත් එකොළොස් වැනි දින එම රියැදුරු පී.සී.ආර්. පරික්ෂණයකට යොමුවී ඇතැයි ද එහි ප්‍රතිඵල වාර්තාව පෙරේදා (15) ලැබීමෙන් අනතුරුව ඒ බව තහවුරු වී යැයි එම ප්‍රකාශකයා කීය.ආසාදිත රියැදුරු රෝහල්ගත කිරිමට නියමිත බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.


බුලත්සිංහල

කොවිඩ් වයිරසය ආසාදිතවීම හේතුවෙන් ඉකුත් 14 හා 16 යන දෙදින තුළ බුලත්සිංහල ගලහේන ප්‍රදේශයේ 64 හැවිරිදි සහ බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ 82 දෙහැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනකු තම නිවෙස් තුළම මියගොස් ඇතැයි  බුලත්සිංහල පොලිස් ස්ථානයේ කොරෝනා පැතිරීම  වැළැක්වීමේ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක උපාලි රංජිත් මහතා පැවැසීය.  බුලත්සිංහල පොලිස් බල ප්‍රදේශය තුළ කොරෝනා රෝගයෙන් මියගිය මතෙවැනි මරණය මෙය වන අතර මේ රෝගයෙන් තම නිවෙස් තුළදී දෙදෙනකු මියගිය පළමු අවස්ථාව මෙය බව ද උපාලි රංජිත් මහතා පැවැසීය. ගලහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ මළ සිරුර ආදාහනය ඉකුත් 14 දා හොරණ ආදාහනාගාරයේදී සිදුකර ඇති අතර හතුර ප්‍රදේශයේ පුද්ගලයාගේ සිරුර ඊයේ (16) දින හොරණ ආදාහනාගාරයේදී ආදාහනය කිරිමට නියමිතව තිබුණි.




හංවැල්ල

කොරෝනා රෝගය වැළඳී හංවැල්ලේ පදිංචි දෙදෙනකු අවිස්සාවේල්ල රෝහලේදී මියගිය බව අවිස්සාවේල්ල සීතාවකපුර නගර සහා මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මෙලෙස 14 වැනිදා හංවැල්ල කළුඅග්ගල පදිංචි එච්.කේ. ආනන්දසිරි නමැති 88 හැවිරිදි පුද්ගලයකුත් හංවැල්ල පහළ හංවැලේ පදිංචි ටී. අමරසේකර නමැති 71 හැවිරිදි පුද්ගලයකුත් 15 වැනිදා සවස මියගිය බව සීතාවකපුර නගර සහා මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලය පැවැසීය.
කොරෝනා රෝගය වැළඳී මියගිය දෙදෙනාගේ සිරුරු අවිස්සාවේල්ල රෝහලේ තැන්පත් කර ඇති බවත් නිසි සෞඛ්‍ය ක්‍රමවේද පිළිපදිමින් අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභා පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී 16 වැනිදා දහවල් 12.00ටත් සවස 5.00ටත් මියගිය අයගේ සිරුරු ආදාහනය කිරීමට කටයුතු සලසා ඇති බවත් අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභා මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරි එන්. ආර්. වික්‍රමසිංහ මහතා පැවසීය.

තිස්සමහාරාම

පුද්ගලයන් තිස්තුන්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (16 වැනිදා) හඳුනාගත් බව තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර විජේමුණි පැවැසීය. එක් පුද්ගලගයෙක් මරණයට පත්ව ඇති බවද ඔහු කීය.
මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහාරාම, පන්නගමුව, ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ හැට නව හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු කොරෝනා ආසාදනය වී සතියක් පමණ කාලයක් තිස්සමහාරාම මූලික රෝහලෙහි ප්‍රතිකාර ලබා ඇත. එම කාලය තුළ ඔහුගේ ජීවිතය ​බේරා ගැනීමට රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩල දැඩි වෙහෙසක් ගත් අතර එම කාලය තුළ ඔහුට ඔක්සිජන් ටැංකි 17ක ප්‍රමාණයක ඔක්සිජන් ලබාදී තිබිණි.
පසුව ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු හම්බන්තොට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීමෙන් පසු ඔහු මියගොස් ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවැසීය. ගතවූ පැය හතළිස් අටක කාලය තුළ හඳුනාගනු ලැබූ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් තිස්තුන්දෙනා හම්බන්තොට හා අගුණුකොළපැලැස්ස කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමට මේ වන විට පියවර ගෙන තිබේ.

තිස්සමහාරාම, සඳගිරිගම වැඩිහිටි නිවාසයේ පුද්ගලයන් දොළොස්දෙනකුට කොරෝනා වැලඳී ඇති බව තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනආරච්චි පවසයි. මීට පෙර එම වැඩිහිටි නිවාසයේ පුද්ගලයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් එම වැඩිහිටි නිවාසයේ දොළොස්දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවැසුවේය.


නාවලපිටිය
කොරෝනා වැලඳුණ නිලධාරිනියක් සභාවට පැමිණීම හේතුවෙන් නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා, ලේකම්වරිය මන්ත්‍රීවරු 14 දෙනෙක් හා අනෙකුත් අංශ ප්‍රධානීන් නිරෝධායනයට ලක්කළ බව සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රධාන සහකාර කළමනාකාරවරිය මෙසේ ආසාදනයට ලක්ව ඇති අතර ඇයට සිදුකළ පළමු පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලය අනුව රෝග ලක්ෂණ නොපෙන්වා ඇත. ඒ අනුව ඇය සේවයට වාර්තා කර තිබේ.
දෙවන පරීක්ෂණ වාර්තාව අනුව ඇය ආසාදනයට ලක්ව ඇති බව දැනුම් දෙන විට ඇය නගරසභා මාසික රැස්වීමට සහභාගි වී සිට ඇත.
ඒ අනුව සභාවට පැමිණි සියලු මන්ත්‍රීවරු හා නිලධාරින් නිරෝධායනයට ලක් කර තිබේ. එම සියලුදෙනාට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත.


පුත්තලම
පුත්තලම මූලස්ථාන පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිට කෝවිඩ් ආසාදිතව ඇති බවට ඊයේ 16වැනිදා අනාවරණය වූ බව සෞඛ්‍ය අංශ පවසයි.මහකුඹුක්කඩවල, කිවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ ආසාදිතයෙකු බවට පවත් තිබේ. අදාළ පොලිස් පරික්ෂකවරයාගේ දියණිය පුත්තලම ලුණු කර්මාන්තශාලාවක සේවය කර ඇති බවත් එහිදී ඇගේත්මිතුරිය කෝවිඩ් ආසාදිත වීමත් සමග පොලිස් පරික්ෂකවරයා ඇතුළු පිරිස නිරෝධායනයට ලක් කර තිබිණි.අනතුරුව පොලිස් පරික්ෂකවරයාගේ දියණියට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලදී ඇය ආසාදිත නොවන බව සනාථ වී තිබිණි.කෙසේ නමුත් මෙම පොලිස් පරික්ෂකවරයා පසුගිය අප්‍රේල් 26වැනිදා සිට පුත්තලම මූලස්ථාන පොලීසියේ රාජකාරිවලින් ඉවත් කර තිබූ බවත් මෙම කාලය තුළදී පොලිස් නිලධාරීන් හා ගැටීමක් සිදු නොවූ බවද වාර්තා වෙයි.

තංගල්ල

තංගල්ල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වර්ගයකු කෝවිඩ් ආසාදිත වී ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් 58 දෙනකු නිරෝධායනයට ලක් කළ බව තගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. තංගල්ල, මැඩිල්ල ප්‍රදේශයේ පැවැති සාදයකට සහභාගි වූ කිහිප දෙනෙකු පසුගිය දිනවලදී කෝවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබිණි. තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාද මෙම සාදයට සහභාගිවීම හේතුවෙන් ඔහු නිරෝධායනයට ලක් කර සිටි අතර පී.සී.ආර් පරීක්ෂණ අනුව එම සාදයට සහභාගි වූ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු 6දෙනෙකු කෝවිඩ් ආසාදිත බවට හඳුනාගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.තවද තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේ පොලිස් මුරපොළෙහි රාජකාරී සදහා යොදවා සිටි තංගල්ල මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි කොස්තාපල්වරයකු ද කෝවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.මේ හේතුවෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් 50 දෙනෙකුට පෙන්වා (15දා) පී.සී.ආර් පරික්ෂණ සිදු කරනු ලැබීය. තවද පොලිස් නිලධාරීන් 58 දෙනකු නිරෝධායනය කිරීමට ද තංගල්ල සෞඛ්‍ය වෙද නිලධාරි කාර්යාලයේ නිලධාරි පියවර ගත්හ.

කරාපිටිය
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරාගාරය වෙත පෙරේදා (15දා) පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමුකර තිබු මළ සිරුරු 19න් මෘතදේහයන් 05කට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබු බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා පවසයි. මෙම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන් විසින් පෙරේදා (15දා) පශ්චාත් මරණ පරික්ෂණ 19ක් සිදුකළ බවද විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා පවසයි. කෝවිඩ් ආසාදිත මළසිරුරු කඩිනමින් පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ආදාහනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව පවසන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා අනෙකුත් මළසිරුරු පශ්චාත් මරණ පරික්ෂණ සිදුකර කඩිනමින් මියගිය අයගේ ඥාතීන් වෙත භාරදීමට පියවර ගත් බවද පවසා සිටියේය. පසුගිය වර්ෂයේ (2020) දෙසැම්බර් මස 19 වැනිදා සිට මැයි මස 15වැනිදා දක්වා කාලය තුළදී කෝවිඩ් ආසාදිත මළසිරුරු 66ක පශ්චාත් මරණ පරික්ෂණද සිදුකර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

බණ්ඩාරවෙල

කෝවිඩ් ආසාදිත වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බණ්ඩාරවෙල පොලිස් සැරයන්වරයාගේ මවද කෝවිඩ්. ආසාදිතව සිට ඊයේ (16)දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි. බණ්ඩාරවෙල සෞඛ්‍ය අංශ සඳහන් කරයි. බණ්ඩාරවෙල පදිංචිව සිටි 82 හැවිරිදි තැනැත්තියක මෙසේ ජීවිතක්ෂයට පත් වී තිබේ. බණ්ඩාරවෙල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා නිවසට ගොස් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඉකුත් අප්‍රේල් 30 දින මෙම මවගේ පුතු වූ ඇටැම්පිටිය පොලීසියේ සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයකුද කෝවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්විය.

හල්දුම්මුල්ල, කොස්ලන්ද, ඌව මාවෙලගම ප්‍රදේශයේ අවුරුදු 4ක් වයසැති කුඩා දැරියකට කොරෝනා ආසාදනය වී ඇති බව කොස්ලන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් ප්‍රියන්ත පීරිස් පැවැසීය. ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයක ආසාදිතයකුගේ ආශ්‍රිතයකුගේ ආශ්‍රිතයකු වීම නිසා මෙම දැරිවියට කොරෝනා ආසාදනය වී තිබේ.
මෙම දැරිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැත.

නෝර්වුඩ්

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාට කෝවිඩ් 19 වෙයිරසය ආසාදනය වී ඇති බවට දික්ඔය මූලික රෝහලේදී පෙරේදා (15දා) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදී තහවුරු වූ බවත්, ආසාදිත සභාපතිවරයාගේ ළගම ආශ්‍රිතයත් ස්වයං නිරෝධායනයට යොමුකිරීමට පියවර ගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය. නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කෝවිඩ් 19 රෝග ලක්ෂණ මතුවීම නිසා සභාපතිවරයා මීට දින තුනකට පෙර පී.සී.ආර් පරික්ෂණයක් සිදු කරගෙන ඇතත් එම වාර්තා නොලැබුණු නිසා සභාපතිවරයා පෙරේදා (15) දික්ඔය මූලික රෝහලට ගොස් ඇන්ටිජන් පරික්ෂාවක් සිදු කරගෙන ඇත. එම පරික්ෂාවේදී සභාපතිවරයාට කෝවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය. සභාපතිවරයා පසුගිය දින කිහිපය තුළ නෝර්වුඩ් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විවෘත කිරීම් ඇතුළු උත්සව ගණනාවකට සහභාගි වී ඇත. සමාජ මාධ්‍යය ඔස්සේ මාධ්‍යයට අදහස් දැක්වූ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවී කුලන්දවේල් මහතා කියා සිටියේ, තමන්ටම කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවත්, තමන්ට වෛරසය ආසාදනය වූයේ කෝවිඩ් 19 වෛරසය ආසාදිතයන් ගණනාවක් හමු වූ පොඩි ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගලුම් කර්මාත්තශාලාවක් තම ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශ සේවකයන් විසින් විෂබීජහරණය කිරීම අධීක්ෂණයට ගිය අවස්ථාවේ බවට තමත් සැකකරන බවයි.




 තලවාකැලේ
​කොවිඩ් ආසාදිතයන් 30 දෙනෙකු හමුවීම නිසා හුදෙකලා කර ඇති තලවාකැලේ වොල්ට්‍රිම් ග්‍රාමසේවා වසමට අයත් සෙන් කුම්බ්ස් වතුයායෙන් සහ තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයෙන් කොවිඩ් නව ආසාදිතයන් 21 දෙනෙකු තහවුරු වූ බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණවර්ධන පැවැසීය.
එම ආසාදිතයන් අතර තලවකැලේ පර්යේෂණ ආයතනයේ නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසු ආසාදිතයන් 13 දෙනා සෙන් කුම්බ්ස් තේ කර්මාන්ත ශාලාවෙන් සහ වතු යායෙන් හමු වී ඇත.
පෙර ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් 128 දෙනෙකුගේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා 14 දින ලැබුණු බවත්, තවත් කොටසක් ලැබීමට නියමිත බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියේය. ආසාදිතයන් බහුලව වාර්තා වන නිසා තලවකැලේ තේ පර්යේෂණ ආයතනය තවදුරත් වසා දමා සෙන් කුම්බ්ස් වතුයාය තවදුරටත් හුදෙකලා කර තැබීමට පියවර ගන්නා බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න වැඩිදුරටත් පැවැසීය.

පොල්ගහවෙල
පොල්ගහවෙල සෞඛ්‍ය බල ප්‍රදේශයේ නිරෝධායනය වී සිටි 160 දෙනකුට ඉකුත් 10 වැනිදා පීසීආර් පරීක්ෂණ සිදු කෙරිණි. ඉන් 78 දෙනකුගේ වාර්තා ඊයේ (16 වැනිදා) උදෑසන ලැබී තිබේ. ඉන් 15 දෙනකු ආසාදිතයන් ලෙස හඳුනා ගත් බව පොල්ගහවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජීව හේරත් පවසයි. එම ආසාදිතයන් විදුහල් මාවත, වදාකඩ, ක්‍රීඩාංගණය පාර පොල්ගහෙවල, කොලබුලාමුල්ල, පොතුහැර බතලහේන, ඉහළ ආරගොඩ, නව නිවාස පනලිය යන ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ. එසේ වාර්තා වූ අය අතරින් එකම පවුලේ පුද්ගලයන් දෙදෙනකු හා තුන්දෙනා බැගින් ද සිටිති.


මහනුවර

ශ්‍රී දළදා මාලිගාව පොලිසියේ පාලන අංශයේ පොලිස් නිලධාරිනියකට කෝවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් එහි නිලධාරින් දෙදෙනෙකු  නිරෝධායනයට ලක් කොට ඇති බව ඉහළ පොලිස් නිලධාරියෙක් පැවසීය.එම නිලධාරිනියන්ගේ සමීපතම ආශ්‍රිතයන් තවදුරටත් විමර්ශනය කරමින් පවතින බවත් පැවසූ එම නිලධාරීයා නිරෝධායනයට ලක් කරන සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවද පවසා සිටියේය.


මාතලේ
මාතලේ දිස්ත්‍රික්කයේ ඊයේ (16) වැනිදා උදෑසන වන විට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි. මාතලේ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් 2961 දක්වා ඉහළ ගොස් ඇත.
උකුවෙලින් රෝගීන් 643, දඹුල්ල මහ නගර සීමාවෙන් රෝගීන් 413ක්, ගලේවෙලින් රෝගීන් 434ක්, රත්තොටින් රෝගීන් 269ක්, නාඋලින් රෝගීන් 198ක්, දඹුල්ලෙන් රෝගීන් 215ක්, මාතලෙන් රෝගීන් 214ක්, මාතලේ මහ නගර සීමාවෙන් රෝගීන් 177ක්, යටවත්තෙන් රෝගීන් 110ක්, පල්ලේපොළින් රෝගීන් 118ක්, අඹන්ගගකෝරලයෙන් රෝගීන් 64ක්, විල්ගමුවෙන් රෝගීන් 64ක් හා ලග්ගලින් රෝගීන් 35ක් ලෙස ආසාදිතයන් වාර්තා වී ඇත. මේ වන විට දිස්ත්‍රික්කය පුරා පවුල් 681ක පුද්ගලයන් 1749 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි.