covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 




 
නවගමුව
නවගමුව පුරාණ පත්තිනි මහා දේවලය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පත්තිනි මහා දේවාලයේ භාරකාර මල්වානේ  පඤ්ඤාසාර හිමි පවැසූහ. මේ වනවිට නවගමුව පත්තිනි දේවාලය ආසන්නයේ පිහිටි නිවෙස්වල පදිංචිකරුවන් 40 කට පමණ මේ වනවිට කොරෝනා වයිරසය වැලඳී ඇතැයි පැවැසේ. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව දේවාලය විවෘත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මල්වානේ පඤ්ඤාසාර හිමියෝ පැවැසූහ.

අවිස්සාවේල්ල
අවිස්සාවේල්ල තල්ලුව මුස්ලිම් පල්ලිය අසල මහා මාර්ගයේ පුද්ගලයකු ඇදවැටී 28 වැනිදා මියගොස් ඇතැයි අවිස්සාවේල්ල රෝහල් පොලිසිය පවසයි. මෙලෙස ඇදවැටී මියගොස් ඇත්තේ රුවන්වැල්ල හුඹස්වලාන පදිංචි එම්.එස්. ජයමාන්න (59) නමැති පුද්ගලයෙකු බව පොලිසියට වාර්තා වී ඇත. අවිස්සාවේල්ල තව මහජන පොළෙන් බඩුමුට්ටු මිලදී ගැනීමට එම පොළට එමින් සිටියදී මෙලෙස ඇදවැටී මියගොස් ඇති බවත් පසුව එදිනම මියගිය අයගේ සිරුර අවිස්සාවේල්ල රෝහලට ගෙනවිත් භාර දුන් බවත් ඒ සඳහා පී.සී.ආර්. පරික්ෂණයක් පැවත්වීමට නියමිත බවත් රෝහල් පොලිසිය පැවසීය. සිරුර අවිස්සාවේල්ල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. අවිස්සාවේල්ල රෝහල් පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කේ.එච්. බණ්ඩාර මහතා ඇතුළු රෝහල් පොලිසිය පරික්ෂණ පවත්වති.

පාදුක්ක
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ උග්ගල්ල ප්‍රදේශයේ විවාහ මංගලෝත්සවයකට සහභාගිවූ පිරිසෙන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමන්පසු එම අවස්ථාවට සහභාගිවූ නිවාස 50කෙ, 80ක පමණ පිරිසක් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් මතු නිවෙස්වලම නිරෝධායනය කර ඇති බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුමිත්‍ර කහන්ගමගේ මහතා (02) දින පැවසීය. අංගම්පිටිය, ෆවුසි මාවත, ගෝල පාර යන ප්‍රදේශවල නිවැසියන් මෙලෙස නිරෝධායනය කර ඇති බවත් මෙම පිරිසට අද (03) දින පීසීආර් පරීක්ෂණ සිදු කෙරෙන බව පැවසීය.


රත්මලාන

රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ රාජ්‍ය ආයතනවල හා ප්‍රදේශවාසීන්ගෙන් අහඹු ලෙස තෝරාගත 184ක් සඳහා ඉකුත් 29 වන දින රත්මලාන දුම්රිය ක්‍රීඩාංගණයේ දී සිදුකළ පීසීආර් පරික්ෂණවලට අනුව 52කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මෙම පරික්ෂණ සඳහා රත්මලාන ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා ප්‍රදේශවාසීන්ගෙන් අහඹු ලෙස තෝරාගත් 184ක් යොමු කරනු ලැබූ අතර, ඉන් 5ක් මෙලෙස ආසාදිත බවට හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව මෙම පුද්ගලයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට සූදානම් කරමින් පවතින බවත් එම ප්‍රකාශක වැඩිදුරටත් පැවැසීය.
 


රත්නපුර
රත්නපුර මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට ද කොවිඩ්-19 වයිරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව පවසයි. තිස්වැනි වියේ පසුවන මෙම වෛද්‍යවරයා කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති බවද සඳහන්ය.
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ගෙවුණු දින තුනක කාලයේ කොවිඩ්-19 ආසාදිත බවට තහවුරු වී ඇති සංඛ්‍යාව 46කි. කොවිඩ් ආසාදිත වෛද්‍යවරයා ඇට්‍රාසනිකා එන්නත් පළමු මාත්‍රාව ලබාගෙන ඇති බව ද සඳහන්ය. රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන මේ වනවිට ආසාදිතයන්ගෙන් පිරී ඇති නිසා කොවිඩ් ආසාදිත බව තහවුරුවන පුද්ගලයන් දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙනයන තෙක් ඔවුන්ගේ නිවෙස්වලම රඳවා තැබීමට සිදුව ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරින් පවසයි. එය වෛයිරසය නිවසේ සෙසු අය අතර ව්‍යාප්ත වීමට හේතුවක් බව ද ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කෝවිඩ් ආසාදිත පුද්ගලයන්ට ප්‍රතිකාර ලබන මධ්‍යස්ථානද මේ වනවිට ආසාදිතයන්ගෙන් පිරි ඇති නිසා කෝවිඩ් ආසාදිත බව තහවුරු  වන පුද්ගලයන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පිටත  ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ගෙන යන තෙක්  ඔවුන්ගේ නිවෙස්වලම රැඳවා තැබීමට සිදුව ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති. එය වෛරසය නිවසේ සෙසු අය අතර ව්‍යාප්තවීමට හේතුවක් බව ද ඔවුහු පෙන්වා දෙති.


නාඋල
රෝහල් පහසුකම් නොමැතිකමින් මේ වන විට නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෝවිඩ් වයිරසය ආසාදනය වූ පුද්ගලයන් දොළොස් දෙනකුට (12)වැඩි පිරිසක් නිවෙස්වල රඳවා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන දඹුල්ල සහ ලග්ගල රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී යෑම මේ සඳහා බලපා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. පවත්නා තත්වය හමුවේ රෝගීන් රැදී සිටින නිවෙස්වල සෙසු පිරිස්වලින් වැඩි පිරිසකට කෝවිඩ් වයිරස ආසාදන වී ඇති බව ද එම පවුල්වල පිරිස් කියා සිටිති. මේ සම්බන්ධයෙන් නාඋල ප්‍රාදේශීය සභා සභාපති සනත් දසනායක මහතාගෙන් කළ විමසීමක දී හෙතෙම ඊයේ (02) කියා සිටියේ කඩිනමින් රෝගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සිදුකරන බවයි. වැඩිවන කෝවිඩ් රෝගීන් වෙනුවෙන් අඔන රෝහල සකස් කිරිම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද හෙතෙම කියා සිටියේය. මෙම නාඋල පොලිස් බල ප්‍රදේශයෙන් පසුගිය 01 වැනිදා වන විට කෝවිඩ් ආසාදිතයන් 158 දෙනෙකු වාර්තා වී තිබේ.


මහනුවර

පූජාපිටිය පොලිස් වසමේ අත්තරගම උතුර සහ දකුණ ග්‍රාම සේවා වසම් දෙකෙන් කොවිඩ් රෝගීන් වාර්තතාවීම ඉහළ යාමත් සමග එම ග්‍රාම සේවා වසම් දෙක හුදකලා කිරීමට තීරණය කළ බව පූජාපිටිය පොලිසිය කියයි.. පුජාපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත බණ්ඩාර මහතාගෙන් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ එම ගම්මාන දෙකෙන් ඉකුත් 30 වැනිදා වන විට කොවිච් වෛරස ආසාදිතයන් 09 දෙනකු පමණ වාර්තා වූ බවත් ඒ සම්බන්ධයෙන් පැවැති සෞඛ්‍ය කමිටු රැස්වීමේදී ග්‍රාමසේවා වසම් දෙකේ ජනතාව1600 කට ආසන්න පිරිසක් දින 10 ක කාලයකට ස්වයං හුදකලාවීමකට ලක්වීමට එකඟ වූ බවයි.

ගම්පහ

ගතවූ පැය විසිහතරක කාලයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ 2 උදෑසන වනවිට කොරෝනා ආසාදිතයන් 334දෙනකු වාර්තාවන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි. 77 දෙනකු රෝහල් මගින් සිදු කරන ලද පරීක්ෂණවලින් ද 257 දෙනකු දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ක්ෂේත්‍රයේ සිදුකළ පරික්ෂණවලින් ද හමුව ඇති අතර ආයෝජන මණ්ඩල කලාපයට අයත් බියගම කර්මාන්ත ශාලාවලින් ආසාදිතයින් 7 දෙනකුද හමුව ඇත. 55 දෙනකු වන වැඩිම ආසාදිතයන් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ද මහර කොට්ඨාසයන් 48ක්, දිවුලපිටිය 35ක්, අත්තනගල්ල 34ක්, වත්තල 26ක්, මිනුවන්ගොඩ, මීරිගම සහ රාගම යන කොට්ඨාසයගෙන් 21 දෙනකු බැගින්ද, දොම්පෙ 18ක්, බියගම 16ක් සහ මීගමුව කොට්ඨාසයෙන් 10 දෙනකු වශයෙන්ද හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවැසීය.


ගාල්ල කරාපිටිය
කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටි රෝගීන්ගෙන් 35දෙනකු කොරෝනා ආසාදිතයන් බව පෙරේදා (01) දින තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මෙම රෝගීන් අතර තල්ගම්පල ප්‍රදේශයේ මාස එකක් වයසැති ළදරුවකු ද කොස්ගොඩ ප්‍රදේශයේ මාස තුනක් වයසැති ළදරුවකු ද ගාල්ල, සංඝමිත්තාපුර සහ බද්දේගම අවුරුදු දෙකක් වයසැති ළමයින් දෙදෙනකු ද වන බව ද වාර්තා වී තිබේ. මොවුන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා හික්කඩුව, ආරච්චිකන්ද, අම්බලන්ගොඩ, පොල්වත්ත සහ කරන්දෙණිය කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වැනි වාට්ටුව කොරෝනා බවට සැකකරන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කර ඇත.



කළුතර

කළුතර අධිකාරගොඩ කොරෝනා පොකුර ඊයේ (02) වනවිට 117ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර ඒ අවට ගම්මානවලින් ද තවත් රෝගීන් 09 දෙනෙකු වාර්තාවී ඇත.  ඒ අධිකාරිගොඩ ග්‍රාම නිලධාරි වසමෙන් 108ක්, කොහොලාන ග්‍රාමය නිලධාරි වසමෙන් 09ක්,  සේරුපිට බටහිර ග්‍රාම නිලධාරි වසමෙන් 01ක්, සේරුපිට නැගෙනහිර ග්‍රාම  නිලධාරි වසමෙන් 02ක් හා බොලොස්සගම ග්‍රාම නිලධාරි වසමෙන් 01ක් වශයෙන් මෙසේ රෝගීන් හමුවී තිබේ. මේ අතර එම ප්‍රදේශවල තවත්  රෝගීන් සිටී නම් හඳුනා ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබූ පෙරේදාත් (01) නිවාඩු නොලැබ  රාජකාරියේ යෙදෙමින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර තවත් 200 ක් පී.සී.ආර්. පරික්ෂණ සඳහා භාජනය කරන ලදී.

 මෙම ප්‍රදේශවලින් හඳුනා ගත් සියලුම රෝගීන් රෝහල්ගත කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ප්‍රකාශ කළහ. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තමීර  කළුබෝවිල, කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බැසිල් සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.පී. සිංහබාහු යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් යුතුව කළුතර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.ඩි.ඩි. රෝහණ සේරුවිට, මහජන සෞඛ්‍ය පරීක්ෂක  ඩබ්ලිව්.එම්.ඒ.ඩී. වනසිංහ, කලමුල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක තාරක සඳරුවන්, වස්කඩුව මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.එස්.ඩී. කුමාර සහ බෝම්බුවල මහජන සෞඛ්‍ය පරික්ෂක කේ.ඒ. ළහිරු සඳරුවන් යන මහත්වරු මෙම ප්‍රදේශයේ රෝග නිවාරණ කටයුතුවල නිරතව සිටිති.

කළුතර  පයාගල පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුඳුගහලන්ද ප්‍රදේශයේ බේකරියක සේවයනියුතු අයකු කොරෝනා ආසාදිත වීමෙන් එම බේකරිය වසා දමා සෙසු පිරිසට ස්වයං නිරෝධායනයටලන ලෙස සෞඛ්‍ය අංශ දන්වා ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරියකු පැවසීය. මෙම ප්‍රදේශයේ මාළු වෙළඳාමේ නියුතු අයකු ද මේ වනවිට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇති බවත් ආසාදිත මාළු වෙළෙන්දාගෙන් බේකරි සේකයාට කොරෝනා ආසාදිත වූවේද යන්න සොයා බලන බවත් කීය. නිරෝධායනයට යොමු කර තිබෙන බව ද පොලිසිය කීවේය.

වාද්දුව

වාද්දුව - මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ දින 03 ක් ඇතුළත කොරෝනා වයිරසය ආසාදිත 20 දෙනකු හඳුනාගෙන ඇතැයි, වාද්දුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඒ.ඩි. සනන්ත මහතා පැවැසීය. වාද්දුව කලාපයේ 13 දෙනකුද, කළුදෑවල 12 දෙනකුද, මොරොන්තුඩුව 02 ක්ද හා පනාපිටිය 02 බැගින්ද වාර්තා වී ඇත. ඒ අනුව මේ වන විට එම නව ආසාදිතයින්, සමීපතම ඇසුරු කරනන් නිරෝධායනය කිරීම හා අවශ්‍ය මාර්ගෝපදේශ කටයුතු ලබාදීම, වාද්දුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ, වෛද්‍ය රන්ජන් සිල්වා මහතාගේ උපදෙස් මත ප්‍රදේශ බාර මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරිහු කටයුතු කරති. වාද්දුව, පිංවත්ත, නාරම්පිටිය හා පොතුපිටිය යන සෞඛ්‍ය බල ප්‍රදේශයන්හි කොවිඩ් ආසාදිතයින් ශීඝ්‍රයෙන් වර්ධනය වීමක් පෙන්නුම් කරන බැවින්, ඉදිරි දින කිහිපය තුළ එම තත්වය සලකාබලා සංචරණ සීමා පැනවීමට අවශ්‍ය උපදෙස් ඉල්ලා ඇතැයි, වාද්දුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.ඩී. නිලන්ත මහතා පැවැසීය.

වලල්ලාවිට

වලල්ලාවිට සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් ඉකුත් 01 දින කොවිඩ් මරණයක් පිළිබඳ වාර්ත වී ඇතැයි වලල්ලාවීට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරල මහතා පැවසීය.වලල්ලාවිට, යගිරල, ඉහළවකන්ද ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවක මෙසේ මිය ගොස් ඇති අතර, ඇය පසුගිය 29 වැනිදා ඇල්පිටිය මහ රෝහලේ වෛද්‍ය සායනයකට ගොස් ඇත. එහි දී ඇති වී තිබෙන යම් රෝගී තත්වයක් නිසා වෛද්‍යවරුන් පරික්ෂා කිරීමෙන් අනතුරුව රෝහලට ඇතුළත් කරතැයිද, අනතුරුව ඇය මියගොස් ඇතැයි ද, එහි දී සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයේ දී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මෙම මියගිය කාන්තාව පදිංචි නිවස නිරෝධානයට ලක් කිරිමට කටයුතු කළ බව ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරි පුෂ්පකුමාර මහතා පැවසීය.

 අනුරාධපුර

අනුරාධපුර නගරයෙන් තවත් කොරෝනා රෝගීන් 11 දෙනකු පෙරේදා (28දා) හඳුනාගත් බව අනුරාධපුර
මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය සඳහන් කරයි. අනුරාධපුර, පුරහල පෙදෙස අංක දෙක ප්‍රජා
ශාලාවේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී මෙම රෝගීන් 11 දෙනා හඳුනාගත් බව අනුරාධපුර මහ නගර
සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

පුද්ගලයන් හැටකට ආසන්න සංඛ්‍යාවක් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ බවත් ඒ අතරින් මෙම 11 දෙනා
හඳුනාගත් බවත් පවසන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම රෝගීන් 11දෙනා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර
කිරීම සඳහා වෙන් කර ඇති අනුරාධපුර මෙත්සිරි සෙවණ රජයේ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද
කියයි. මෙම රෝගීන් 11 දෙනාම අනුරාධපුර නගරයේ පදිංචිකරුවෝ වෙති.

මඩකළපුව
මඩකලපුව මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ මඩකළපුව නගරයේ 170 දෙනකුට කළ කොරෝනා ඇන්ටිජන්
පරීක්ෂණයෙන් පොලිස් නිලධාරීන් එක් අයකු ඇතුළු පස් දෙනකුට ආසාදනය තහවුරු වී ඇති බව කොට්ටමුනේ
මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී. මිතුන්රාජ් පවසයි.

මඩකළපුව මූලස්ථානය පොලිස් බල ප්‍රදේශයේ බැංකුවල සේවය කරන සේවකයන් හා මූලස්ථාන පොලිස්
ස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් මෙම පරීක්ෂණ පැවැත්විණි.

හලාවත

හලාවත ප්‍රදේශයේ ලැගුම් හලක හිමිකරුවකු කෝවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීම නිසා එහි නවාතැන් ගෙන සිටි ටෙලිනාට්‍යයක කාර්මික ශිල්පීන් පිරිසක් සහ පොලිස් නිලධාරින් සිව් දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය. හලාවත ප්‍රදේශයේ දී රූගත කිරීම් සිදුකරන ටෙලි නාට්‍යයක රූගත කිරීම් කටයුතුවලට එක්වීම පිණිස කාර්මික ශිල්පීන් 14 දෙනෙකු පැමිණ හලාවත බණ්ඩාරවත්තේ පවත්වා ගෙන යන පෞද්ගලික ලැගුම් හලට පැමිණ ගත වූ සති දෙකක පමණ කාලයක සිට නවාතැන් ගෙන සිටි බවත් කියයි.
ඒ අතර ලැගුම්හලේ හිමිකරු කෝවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනාගත් බැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් වහාම පෙරේදා (1 වැනිදා) හලාවත පොලිසිය සමග එම ලැගුම්හලට ගොස් එම ලැගුම්හලෙහි ඒ වන විට ලැගුම් ගෙන සිටි පිරිස නිරෝධායනයට ලක් කිරීමට නියම කර ඇති බවත් කියයි. මේ අනුව එම ටෙලිනාට්‍ය කාර්මික ශිල්පීන් පිරිස ද එම ලැගුම්හලේම නිරෝධායනයට යොමුකර ඇති බවත් කියයි.හලාවත පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයකු කෝවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන ඔහුට ප්‍රතිකාර ලබා දීම පිණිස නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථානයකට යොමු කිරීමෙන් පසු එම ඒකකයේ සේවය කළ තවත් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකු ද මෙසේ නිරෝධායනයට යොමු කළ බවත් කීය.


පන්නිල
වැලිපැන්න පොලිස් බලප්‍රදේශයේ පන්තිල ග්‍රාම සේවා වසමේ එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු හා එක් පිරිමි පුද්ගලයෙකු පසුගිය 30 දින ඇන්ටිජන් පරික්‍ෂණයකට ලක් කිරීමේදී ඔවුන් සිව් දෙනාම කෝවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැනීමට හැකි වූ බව ඉත්තෑපාන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. පී. කේ. රන්දික මහතා සඳහන් කළේය. මේ වන විට ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු යොදා ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් වන යාබද පවුල් 7 ක වෙසෙන පිරිසක් එම නිවෙස් තුළම නිරෝධායනය කර ඇත. එබැවින් උණ, සෙම් ප්‍රතිෂව වැනි රෝග ලක්‍ෂණ පහල වන්නේ තම් ඉතාම ඉක්මනින් සෞඛ්‍ය අංශ වෙත යොමුවී අදාළ පරික්ෂණ සිදු කර ගන්නා ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 දක්ෂිණ අධිවේග මාර්ගය

දක්ෂිණ අධිවේග මාර්ගයේ කොට්ටාව, අතුරුගිරිය, කොතලාවල සහ කඩුවෙල යන පිවිසුම්වල සේවකයින් කිහිප
දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇත.
මත්තල සිට කටුනායක දක්වා ගමන් ගන්නා සියළුම රථ වාහන අද කහතුඩුව පිවිසුමෙන් පිටත් කර යැවෙන
බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය ප්‍රකාශ කළේය.
ඒ අනුව කහතුඩුව පිටවීමෙන් මුදල් ගෙවා රියදුරන්ට රථ වාහන පිටතට දැමිය යුතු අතර අධිවේගී මාර්ගයේ
කටුනායක දෙසට ඇති ඉදිරි පිටවීමකින් වාහන ඉවතට ගැනීමට අපේක්ෂා කරන රියදුරන්ට යළි කහතුඩුවෙන්
අධිවේගී මාර්ගයට පිවිස කටුනායක දෙසට ගමන් කළ හැකියි.
ඒ අනුව ගෙවීම් කවුළු විවෘතව පවතින ස්ථානවලදී පමණක් රියදුරන්ට මුදල් ගෙවීම් කළ හැකි අතර අනෙකුත්
පිටවීමේ ස්ථානවලදී මුදල් ගෙවීමක් සිදුනොකර පිටව යා හැකියි.

බන්ධනාගාර කොඩි පොකුර

බන්ධනාගාරවල කොවිච් පොකුර 246 දක්වා ඉහළ නැග ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර
කොමසාරිස් චන්දන ඒකනායක මහතා  ඊයේ (02 වැනිදා) පැවසීය. බන්ධනාගාර තුළට අලුතින් එන රිමාන්ඩ් හා සිරකරුවන් වෙනුවෙන් පී. සී. ආර්. පරීක්‍ෂණ නොකඩවා සිදු කරන බවත්, ඒ අනුව ඔවුන් වෙනම තැනක රදවා තබා නිරෝධායනයට යොමු කරන බවත් හෙතෙම කීය.  ඒ අනුව බන්ධනාගාරවල වෛරසය පැතිරීම මේ වන විට පාලනය කර ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
කෝවිඩ 19 වෛරසය ඉන්ධනාගාර තුළ පැතිරීම වැළැක්වීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංග සහ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයිද හෙතෙම කීය.

අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට ඉකුත් 30 වැනිදා සහ 01 වැනිදා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලදී රැඳවියන් 30 කට කොරෝනා ආසාදිතවී ඇතැයි කොවිඩ් 19 මර්දනය කිරිමේ දකුණු පළාත් මෙහෙයුම් මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පැවසීය. මෙම රැඳවියන්ට ඉකුත් 30 වැනිදා සිදුකෙරුණ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ දී 13 ක්ද 01 වැනිදා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදී 17 ක් ද කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත. ඔවුහු කුරුණෑගල, කතරගම, මාතර, වැලිගම, තුංකම, දෙවිනුවර, මිදෙණිය, කටුවන, අකුරැස්ස ආදි ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුහු ප්‍රතිකාර සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයටත් සහ වැලිකඩ බන්ධනාගාරයටත් යොමු කිරීමට නියමිතව සිටිති.

තැපැල් සේවය

තැපැල් සේවකයින් 40 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් කොම්පඤ්ඤ වීදිය, පානදුර කෙසෙල්වත්ත, හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල වසා දමා ඇති බවය.
කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් උප තැපැල් කාර්යාල 22 ක් ද තාවකාලිකව වසා දමා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
රාජිත රණසිංහ මහතා පැවසුවේ, දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල තැපැල් කාර්යාල කටයුතු ක්‍රියාත්මක නොවන බවයි.