covid19-new-decition

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද පවසා ඇත්තේ මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යෑමෙන් පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවිය හැකි බවයි.
කෙසේ වෙතත් අවසන් තීරණය ගනු ලබන්නේ වාර්තාවන රෝගීන් තත්වය සැළකිල්ලට ගනිමින් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.


කොරෝනා පාලනය කිරීම සඳහා රටම නොහැකි නම් පළාත් වශයෙන් හෝ "ලොක්ඩවුන් " කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද පාර්ලිමේන්තුවේ දී අද (5) ඉල්ලීමක් කළේය.
"කොරෝනා පැතිරෙනවා.ආණ්ඩුවට අද ඒක පාලනය කරගන්න බැරි වෙලා.ඔවුන් ඒක පිළිගන්න ඕන." යයි ඔහු පැවසුවේය.
ඉන්දියාව තුළ වේගයෙන් පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප්‍රභේදය ලංකාවේද පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි, විශේෂඥ සුදත් සමරවිර මහතා ද පවසා තිබේ.
මෙරට තුළ හඳුනාගෙන ඇති කොවිඩ් ප්‍රභේදය ද දිවයින පුරා ව්‍යාප්ත වීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බව ඔහු කියයි.
මෙරට ධීවර ප්‍රජාව ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර ප්‍රජාවත් සමඟ ගැඹුරු මුහුදේදී සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවත්, මේ හේතුවෙන් ඉන්දියාවේ පවතින කොරෝනා ප්‍රභේදය මෙරට තුළ බෝවීමේ වැඩි ඉඩකඩක් මතුව ඇති බවත් ඔහු සඳහන් කළේය. කොවිඩ් වයිරසයේ ප්‍රභේදය වෙනස් වීමත් සමග එම වයිරසයේ පැතිරීම වේගවත් වී ඇති අතර එක් පුද්ගලයකුගෙන් වැඩි පිරිසක් ආසාදිත තත්ත්වයට පත්වීමේ අවදානම ද මතුව ඇතැයි ඔහු කීවේය.



ඉන්දියාවේ පැතිර යන්නේ මේ වයිරසයේ තවත් ප්‍රභේදයක් බව ද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව, ඉන්දියාවේ පැතිර යන මේ නව  වයිරස් ප්‍රභේදය මෙරට ධීවර ප්‍රජාව මගින් මෙරටට පැමිණීමට ඇති අවදානම වැඩි බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බව ද  ඔහු සඳහන් කළේය. 


මේ අතර ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක සහිත පුද්ගලයන් 86 දෙනකු සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවන් නැවත හරවා යැවූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.අනවසර සංක්‍රමණිකයන් මෙරට මුහුදු  සීමාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්‍රිත  මුහුදු ප්‍රදේශයේ මේ දිනවල සිදු කරනු ලබන  විශේෂ මුර සංචාරවලදී මෙම ඉන්දීය ධීවර යාත්‍රා 11ක් හඳුනාගත හැකි වූ බව නාවික  හමුදාව සඳහන් කරයි. 


 මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර ඉන්දීය ධීවර යාත්‍රා 11 සහ පුද්ගලයින් 86 දෙනා ඉන්දීය බලධාරින් වෙත භාරදීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ද ශ්‍රී  ලංකා නාවික හමුදාව නිවේදනයක් නිකුත්  කරමින් සඳහන් කර තිබේ.  නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීමට  හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් එය  මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර  වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ  ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ද නාවික හමුදාව එම නිවේදනයෙන් සඳහන් කර ඇත.