covid19-parliament

ඊයේ (05දා) පාර්ලිමේන්තුවේදී කොරෝනා සම්බන්ධ රජයේ ක්‍රියාකාරීත්වය රජයේ මන්ත්‍රීවරු අගය කළ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු දොස් කීහ.


ආචාර්ය හරිනි අමරසූරිය (ජා.ජ.බ.)

මේ වෙලාවේ රට විශාල වසංගතයකට මුහුණ දිලා තියෙනවා. ඊට කෙසේ මුහුණ දිය යුතුද යන්න කතා කිරීමට සියලූ දෙනාටම කාර්යභාරයක් තියෙනවා. මේක සෞඛ්‍ය වසංගතයක්. යුද්ධයක් නොවෙයි. අපට හරියට කළමනාකරණය කිරීමට නිවැරදි දත්ත තොරතුරු අවශ්‍යයි. දැනට දෙන තොරතුරුවල විශ්වසනීයභාවය බිඳීම ප‍්‍රශ්නයක්.

දීර්ඝකාලීන ව්‍යුහාත්මක විසඳුම් අවශයයි. විද්‍යාත්මක නිවැරදි තොරතුරු ඒ සඳහා අවශ්‍යයි. අවුරුදු දෙක තුනක් ගැන ඉදිරියට හිතලා, සෞඛ්‍ය විද්‍යාඥයන්ගේ දැනුමෙන් සැලැස්මක් අවශ්‍යයි. එන්නතින් සියලූ දේම විසඳෙන්නේ නැහැ. එන්නත දුන්නත් තව වසර කිහිපයක්ම අපට ආරක්‍ෂාවීම අත්‍යවශ්‍යයි. යම් සැලසුමක් අවශ්‍යයි. මතුවෙන මතුවෙන අවස්ථාවල විතරක් සැලසුම් ඉදිරිපත් කළොත් එය රටටත් ජනතාවටත් හානියක්.

ගෙවිඳු කුමාරතුං (ශ‍්‍රීල.පො.පෙ.) - අපි මේ විවාද කරන්නේ එක්ව මුහුණදිය යුතු ආපදා අවස්ථාවකයි.
ලෝකයේ රෝගීන් පහළොස්කෝටි පනස්දාහක් පමණ ඉන්නවා. ලොව ජනගහනයෙන් සියයට 1.98 ක්. ඉන්දියාවේ රෝගීන් දෙකෝටි හයලක්‍ෂයක් ඉන්නවා. ජනතාවගෙන් එය ප‍්‍රතිශතය 1.49 ක්. ඉන්දීය ප‍්‍රතිශතයට වඩා අපි ඉදිරියෙන් ඉන්නවා. හොඳටම කොවිඞ් පාලනය කරන නවසීලන්තයට වඩා අපි පසුපසින් සිටින්නේ. ලංකාවේ මරණ අනුපාතය 0.003 ක්. ලෝකයට වඩා අපි ඉදිරියෙන් ඉන්නවා. සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශවල දායකත්වය ඒ සඳහා නොමසුරුව ලැබෙනවා.


පරිසර ඇමැති මහින්ද අමරවීර
විපක්ෂ නායකතුමා කිව්වා මම දැක්කා ටීවී එකෙන්. මේ කොවිඞ් ප‍්‍රශ්නය විපක්ෂය දඩයමක් කර ගන්නේ නෑ කියලා. නමුත් ඊයේ එතුමා පාර්ලිමේන්තුවේ කරපු කතාව දැක්කාම අපට පේන්නේ හක්කේ බුදුරැුස් බොක්කේ දඩමස් වගෙයි. විපක්ෂය අපට සහයෝගය දෙනවා කියලා කිව්වානේ. අපට නම් කියන්න තියෙන්නේ විපක්ෂය කටපියාගෙන හිටියා නම් හොඳටම ඇති.
අපේ රජය දැන් මේ වනවිට සියලූම අවශ්‍යතා සහ උපකරණ ලබා ගැනීමට සහ කොවිඞ් රෝගීන් ආරක්ෂා කර ගැනීමට ප‍්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. මුදල්වල අඩුවක් නෑ. ඒ වගේම එන්නත් කි‍්‍රයාවලිය දිගටම කරගෙන යනවා. චීනයේ එන්නතත් අපි ලබා දෙනවා. මේ වසර අවසන් වනවිට ඒ එන්නත් කරණය සියයට 65 කට වැඩියෙන් ලබා දෙනවා. සෞඛ්‍ය ඇමැතිනියත් කිව්වා ඒ ගැන. දැන් සමහර අය අහනවා මේ එන්නත් මුදල් දීලා පෞද්ගලික අංශයෙන් ලබා දෙන්නේ නැත්තේ ඇයි කියලා. ඒ සඳහා ඒ රටවල් විසින් එන්නත් ලබාදිය යුතුයි. එහෙම ලබා දෙනවා නම් අපේ ප‍්‍රශ්නයක් හෝ ඊට එරෙහිව නීතියක් දාලත් නෑ. මේ වනවිට අපි සෞඛ්‍ය තීරණය සඳහා ඒ අවශ්‍ය උපකරණ, ඇඳන් ලබාදීලා තිබෙනවා. ඉදිරියටත් ඒවා වැඩියෙන් ලබා දෙනවා.
මේ විපක්ෂයේ අය කියනවා රට ලොක්ඩවුන් කරන්න කියලා. එහෙම කළොත් රටේ ගොවියා අනාථයි. මිනිසුන්ට කන්න නෑ කියන්න ලේසියි. නමුත් එකෙන් ඒ අතුරු ඵලය එතරම් හොඳ නෑ. නිෂ්පාදකයා, ජනතාව කොතරම් අසරණ වෙනවාද? ඒ ඒ ප‍්‍රදේශ ලොක්ඩවුන් කරනවා විතරයි. නැත්නම් මේ හදන්නේ ජනතාව තුළ විරෝධයක් ඇති කරන්නයි. එතකොට මිනිස්සු ටික පාරට බස්සවා ගන්න ලේසියි. විපක්ෂය සහාය දුන්නත් නැතත් කොවිඩි මර්දනයට අවශ්‍ය කටයුතු අපි සිදු කරනවා.


ඒ. සුමන්දිරන් මහතා (දෙ. ජ. සං)

මේ වසංගත තත්ත්වය අපට මීට වසර එකහමාරකට පෙර තමයි අහන්න ලැබුණේ. මට මතකයි විපක්ෂ නායකතුමා ඇහුවා ප‍්‍රශ්නයක් ඇයි ගුවන්තොටුපළ වහන්නේ නැත්තේ කියලා. නමුත් ආණ්ඩුවෙන් ඒකට හරි උත්තරයක් ලැබුණේ නෑ. අවසානයේදී අපි දුටුවා පාර්ලිමේන්තුව විසුරුවාහරිනවා. මේ වනවිට මේ රටේ දුක හිතෙන තත්ත්වයට සෞඛ්‍ය තත්ත්වය පිරිහිලා. රට පුරා කොරෝනා වෛරසය පැතිරිලා. මේ වනවිට මේ තත්ත්වය පාලනය කිරීමට රජය සුදුසු නීතිමය ප‍්‍රතිපාදන සකසා නෑ.

 ඇමැති සරත් වීරසේකර

කොවිඞ් මර්දන කටයුතුවලට රටේ සියලූදෙනා එක්ව ක‍්‍රියාකරනවා. ඊට ආරක්‍ෂක අංශයේ නොමසුරු දායකත්වය ලබා දෙනවා. ජනතාවගේ හොඳ සෞඛ්‍ය පුරුදු තවදුරටත් ඉදිරියට පවත්වා ගත යුතුයි. කොරෝනා රෝගයට බියෙන් විවිධ පිරිස් ලංකාවට පලා එන බවට තොරතුරු ලැබුණා. ඒ අනුව මුහුදු ආරක්‍ෂාව තර කළා. මන්නාරමේ සිට උතුර දක්වා අනුකණ්ඩ පිහිටුවා මුහුදු ආරක්‍ෂාව තර කළා. යුද්ධයක් ආවත් ආපදාවක් ආවත් පොලිසිය හා හමුදාව කැප වී සේවය කරනවා.

ගයන්ත කරුණාතිලක  (සජබ) -

මේ තීරණාත්මක මොහොතේ අපි හරියට කළා කිය කියා නොසිට සියලූදෙනාගේ සහාය ලබාගෙන මේ ව්‍යසනයට මුහුණ දෙන්න රජය වහා ක‍්‍රියා කරන්න. මේ වසංගතය තවම සමාජගත වෙලා කියන්න මේ බලධාරීන්ට දිව නැමෙන්නේ නෑ. අයි. සී. යූ. ඇඳන් හදනවා කියලා පසුගිය දිනවල කතා කළත් දැන් ඒ කිසිවෙක් හදපු ගණන් ගැන කියන්නේ නැහැ.



රාජ්‍ය ඇමැති කනක හේරත් -

විපක්‍ෂය සහාය දෙනවා නම් බොරු චෝදනා නොකර ඇත්ත ලෙස ක‍්‍රියා කළ යුතුයි. හැකිනම් එන්නත් ඇනවුම් ලබාගත හැකි යැයි ක‍්‍රියාකර පෙන්වන්න.
රට ලොක්ඩවුන් කිරීම කළ හැකියි. එහෙත් රටේ ආර්ථිකය ගැනත්, එය ගොඩනැගීම ගැනත් ආණ්ඩුව ක‍්‍රියා කළ යුතුයි.

කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී නලින් බණ්ඩාර  (සජබ) -

කොරෝනා ප‍්‍රශ්නයේදී අද ආණ්ඩුව ඇනගෙන තියෙන්නේ. කොවිෂීල්ඞ් එන්නත ලක්‍ෂ නවයක මාත‍්‍ර‍්‍රාව දුන්නත් දෙවන මාත‍්‍රාව දිය හැක්කේ ලක්‍ෂ තුනකටයි. එතකොට ඉතිරි ලක්‍ෂ හය අපතේ ගිහින්. ඔවුන්ට දෙවන මාත‍්‍රාව ලැබෙන්නේ නෑ. කවුද මේ ලක්‍ෂ හයට දෙන්න නියෝග කළේ. කොරෝනා ලෙඞ්ඩුන්ට ඇඳන් 33200 ක් දෙන්න පුළුවන් වුණේ යහපාලන ආණ්ඩුව කළ ක‍්‍රියාකාරකම් නිසයි. අපි නේවාසිකාගාර හැදුවා. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. පී.සී.ආර්. යන්ත‍්‍ර ගෙනත් තිබුණා. ඒවත් අද භාවිතා කරන්න පුළුවන්.
වැක්සීන් එක ගේන්න ආණ්ඩුවට සල්ලි නැති වුණාට වෙනත් ජාවාරම් හොඳට කරගෙන යනවා.

 පූජ්‍ය අතුරලියේ රතන හිමි (අපේ ජා.පෙ.) -

කොරෝනාව ඇමරිකාව සාර්ථකව පාලනය කළා කියනවා නම් ඒක බොරුවක්. ඔවුන් තමයි රෝගීන්ගේ මරණ අතරින් අසාර්ථකම තැනට පත්වුණේ. ඉන්දියාවත් ඒ තැනට අද වැටී තියෙනවා.
අපේ අද හොඳ තත්ත්වයේ තිබුණත් සෞඛ්‍ය පහසුකම් හා අනෙකුත් ක‍්‍රියාකාරකම් නිසි ලෙස ඇති නොවුනොත් අපිත් ඒ තත්ත්වයට ඇද වැටේවි.
ආහාරපාන උණුවෙන් ලබා ගැනීම චීන ජපාන කලාපයේ පවතිනවා. එය ඒ රටවල කොරෝනා අවම කිරීමට හේතු වුණා. ආයුර්වේදයේ ලෝකයට යා හැකි වෛද්‍යවරු අපට ඉන්නවා. ඔවුන් හා බටහිර වෛද්‍යවරු එක්කර කොරෝනාවලට හොඳ බෙහෙතක් නිෂ්පාදනය කළ යුතුයි. දේශීය වෙදකම් අනුව අපේ ආහාර රටාව විධිමත් කරගත යුත

පත් කළ මන්තී‍්‍ර එරාන් වික‍්‍රමරත්න (සජබ) -
එන්නත වෙලාවට ගෙනාවේ නැහැ. රට වැහුවෙ නැහැ. මේ නිසා අද කොරෝනා පැතිරී තියෙනවා. අවුරුදු සැණකෙළි කරන්න ඉඩ දුන්නා. ප‍්‍රමාද නොවී අයි. සී. යූ. ධාරිතාව වැඩි කර ගන්න. මරණ සංඛ්‍යාව අඩු කර ගත හැකියි. විපක්‍ෂයේ සහය ලබා දෙනවා.

රාජ්‍ය ඇමැති ප‍්‍රසන්න රණවීර  -
එදා අනූහත් වතාවක් බුද්ධි අංශ කියලත් ගණන් නොගෙන පුද්ගලයන් 300ක් විතර මැරෙන්න හැරිය අය අද මුළු ලෝකයේම වසංගතයක් වූ කොරෝනා පීඩාවට පත් වෙද්දී අපේ සෞඛ්‍ය අංශ හා හමුදාවන් එක්ක කි‍්‍රයා කිරීම විපක්‍ෂයට දරාගන්න බැහැ.
විපක්‍ෂය බලා ඉන්නේ ලංකාව විශාලාවක් බවට පත්වේවි කියා. ආණ්ඩුව එන්නත් ලක්‍ෂ 9කට දුන්නා. අද ඒකටත් බොරු චෝදනා එල්ල කරනවා.

රවුෆ් හකීම් (සජබ) -
ජාතික ආපදා ව්‍යසන මණ්ඩලය වහාම නැවතත් පිහිටුවීම වැදගත් වෙනවා. මේ මණ්ඩලය මාස තුනකින් රැුස්වෙලා නෑ. ඒ නිසා රජය ඒ ගැන අවධානය දැක්විය යුතුයි. මේ ව්‍යසනයේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු ඇඟවීම් කිහිපයක්ම කරලා තිබෙනවා. ඒ ගැන අවධානය දක්වන්න.

කපිල අතුකෝරල මහතා (පොපෙ) -
කොවිඞ් තත්වය රටේ පැතිරී තිබෙන මොහොතක විපක්‍ෂ නායක ඇතුළු ඒ නඩය මේ රජය ගෙනයන වැඩපිළිවෙළ විහිළුවකට අරගෙන තිබීම ගැන මම කනගාටු වෙනවා. අපේ දිස්ති‍්‍රක්කයේ යුද්ධය තිබුණා. ඒ නිසා අපේ ජනතාව අන්ත අසරණ වුණා. මැරුණා. හරියට අධ්‍යාපනයක් ලබන්න බැරිවුණා. බුද්ධිමතුන් විනාශ වුණා. එදා යුද්ධය එජාපය හිතාමතාම ඇතිකරන ලද්දක්.

කබීර් හෂීම් මහතා (සජබ) -
එන්නත මුළු රටටම දෙනවා නම් රුපියල් කෝටි 16ක් විතර වැය වෙන්නේ. ඩොලර් නැති නිසාද ගන්නෙ නැත්තෙ. මීට වඩා ජාවාරම්වලට මුදල් වියදම් කරනවා.
ආණ්ඩුවට හරි ආර්ථික න්‍යායක් නැහැ. ඩොලරයේ අගය අඩුකළා කියලා කිව්වත් එය අසාර්ථක වී තිබෙනවා. පොහොර තහනම් කළේ වස විස නසන්න නොවෙයි ඩොලර් නැති නිසයි. ඒ තුළින්ම පේනවා ආණ්ඩුව ෆේල් කියලා.

රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර  -
විපක්‍ෂ නායකවරයා කොරෝනා ගැන කතාකරන්නත් පෙර තමයි කොවිඞ් මර්දන කාර්ය සාධක බළකාය ආරම්භ කළේ. එන්නත්කරණය ගැන විපක්‍ෂය වැරදි ප‍්‍රකාශ කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් දුන්නා ඉන්දියාව පරිත්‍යාගයන් කළා. දිය හැකි උපරිම සංඛ්‍යාවකට එන්නත දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා. එසේ දීම වැරදිද? හමුදාවෙ තුනෙන් එකකට, සෞඛ්‍ය අංශයට හා වැඩිම අවදානමක් ඇති බස්නාහිර පළාතේ අයට දීම වැරදිද? ඉතිරි දෙවන මාත‍්‍රාව ලබාදීමට අපි සාකච්ඡුා කරමින් යනවා. විපක්‍ෂය පොඩි ආශ්වාදයක් ලබනවා ලෙඞ්ඩු වැඩිවන විට.


 ලක්‍ෂ්මන් කිරිඇල්ල (සජබ) -
කොවිඞ් කාර්ය සාධක බලකාය බලන්න, දොස්තරවරු කොන් කරලා. දොස්තරවරු මුල්ලක ඉඳන් වැඩ කරන්නේ කොහොමද?. මේ ප‍්‍රශ්නවලට ඔළුවෙන් උත්තර දෙන්න ඕනේ. මස් පිඩුවලින් උත්තර දෙන්න බෑ. අපි අගමැතිතුමාට කියනවා, සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් උපදෙස් ගන්න. අපි වෛද්‍ය කේෂත‍්‍රය සමග වැඩකරන්න සූදානම්.




ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (සජබ) -
සුවසැරිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න ජනපති ඇතුළු රජය කි‍්‍රයාකර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ගිලන්රථ 150ක් ගෙන්වන්න අවසර දීලා තිබෙනවා. ඊට අපේ ස්තුතිය පිරිනමනවා.
මෙම කොවිඞ් ප‍්‍රභේදය පැතිරීම ඉතා වැඩියි. එනිසා එන්නත්කරණය ඉක්මන් විය යුතුයි. විශේෂඥයන්ගේ මතයට වහාම ඉඩදෙන්න.

රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතා -
විවිධ නාලිකා සමාජ ජාලා හවසට බලද්දි අපි අසීරුවට පත්වෙනවා. එක එක විශේෂඥවරු එක එක මත කියනවා. එක මතයක් නැහැ. එක මතයක් රටට කිව යුතුයි. ඇයි මෙහෙම කියන්නේ. රවී කුමුදේශ් කතාකරන්නෙත් මහා විශේෂඥයෙක් වගේ. ඔහු එම්. එල්. ටී. කෙනෙක්. මොවුන් මෙහෙම කතාකරද්දි ජනතාවත් අතරමං වෙනවා. විශේෂඥයන් පමණක් හරි මතය රටට කියන්න.

රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා -
කොරෝනා වසංගතය මර්දනය කරන්න සහය දෙන සෞඛ්‍ය අංශයටත් ආරක්‍ෂක අංශයටත් මහජනතාවටත් අපගේ ස්තුතිය පුද කරනවා.
මේ විවාදය පුරාවට විපක්‍ෂය සිදුකළේ අසත්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීම පමණයි. අප්‍රේල් මස 02 වැනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දැනුම්දුන්නා පිළියන්දල ප‍්‍රදේශයේ වැඩබිමක වෙනස් ප‍්‍රභේදයක් දැකගන්නට ඇති බවට. පසුව අපි බුද්ධි අංශ යොදවා ඒ වැඩබිමේ ආශ්‍රිතයන් 800ක් හඳුනාගත්තා. මොවුන්ගේ සාම්පල් විශ්වවිද්‍යලයට යැව්වත් එහි කිසිවක් පොසිටිව් නැති බව දැනුම් දුන්නා.

මේ ප‍්‍රභේදය නිසි ලෙස හඳුනා ගැනීමට පසුව දින විසි ගානක් ගියා. එය සෞඛ්‍ය අංශයේවත් අපේවත් වැරැද්දක් නොවෙයි. බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය තමයි වැඩිම රෝගීන් පිරිසකගෙන් වාර්තා වී තිබෙන්නෙ. බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදයේ විකෘතීන් ඉන්දියාවේ පවතින්නේ. එම ප‍්‍රභේදය තවම ලංකාවට ඇවිත් නැහැ. එය පැමිණීම වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.

විපක්ෂයේ සමහර නායකයන්ගේ ආශීර්වාදයෙන් බිහි වී ඇති සමහර සංවිධාන මාධ්‍ය හමු පවත්වා කුමන අසත්‍ය ප‍්‍රචාර පැතිර වුවත් කොවිඞ් වසංගතය මර්දනය කිරීමට ආණ්ඩුව සෘජු තීරණ ගෙන කි‍්‍රයාත්මක කරමින් සිටිනවා.
ජනතාව සඳහා එන්නත්කරණ කි‍්‍රයාවලිය ඉතා සාර්ථකව කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වන බව දැනගෙන ඇති විපක්ෂය එය කඩාකප්පල් කිරීමටත් කොවිඞ් මර්දන වැඩසටහන කඩාකප්පල් කිරීමටත් විවිධ පුද්ගලයන් යොදවා අසත්‍ය ප‍්‍රචාර පතුරුවන බව ද ඇමැතිවරයා කියා සිටියේය.