කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් පොලිස් නිලධාරින් 8 දෙනෙකු මේ වන විට මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම මරණ අතුරෙන් හය දෙනකුම මරණයට පත්වී ඇත්තේ ඉකුත් මැයි මස 12 වැනිදායින් පසුව එනම්, කොරෝනා තුන්වැනි රැලෙන් බවද එම ආරංචි මාර්ග පවසයි.



කොරෝනා පළමු සහ දෙවැනි රැල්ලෙන් පොලිස් නිලධාරින් එක් අයකු බැගින් ද තෙවැනි රැල්ලෙන් පොලිස් නිලධාරින් හයදෙනකු ද වශයෙන් පොලිස් නිලධාරීන් 8 දෙනකු කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇතැයි එම ආරංචි සඳහන් කරයි.මියගිය පොලිස් නිලධාරීන් තිදෙනකු කුරුණෑගල කොට්ඨාසයේ සේවය කළ අය වන අතර මියගිය අනෙක් අය මොනරාගල, බණ්ඩාරවෙල, බදුල්ල, තෙල්දෙණිය සහ හලාවත යන කොට්ඨාසවල සේවය කළ අය බවද පැවසෙයි.

මෙම මරණ අතර උප පොලිස් පරික්ෂකවරුන් සිවුදෙනකු පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුද වන බව වාර්තවේ. කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය පළමු පොලිස් නිලධාරියා වූයේ මොනරාගල පොලිසියේ සේවය කළ උප පොලිස් පරික්ෂක පී.එන්. අන්දිරිස් අප්පු මහතා වන අතර ඔහු ඉකුත් පෙබරවාරි මස 6 වැනිදා මරණයට පත්විය.

 (නිමන්ති රණසිංහ)