ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතය නියෝජනය කරන ධනංජය ලක්ෂාන් සහ ඉෂාන් ජයරත්න කොවිච් 19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. මොවුන් මේ වනවිට පෞද්ගලික රෝහලක්  මගින් ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බව ද වාර්තාවේ.  තුන් ඉරියව් ක්‍රීඩක 22 හැවිරිදි ධනංජය ලක්ෂාන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායමට ඇතුළත්ව සිටි අතර, ඔහු ශ්‍රේෂ්ඨයන්ගේ ක්‍රිකට් කණ්ඩායම සමග පුහුණුවීම්වලට ද  සහභාගි වී තිබේ.



ශ්‍රී ලංකා එක් දින සංචිතයට ද ඇතුළත්ව සිටින මොවුහු මීට පෙර කොවිඩ් ආසාදිතයකු වූ ශිරාන් ප්‍රනාන්දුගේ ආශ්‍රිතයකු යැයි ද කියති.  තිස්ඒක් හැවිරිදි ඉෂාන් ජයරත්න ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින අතර පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර කළ පී.සී.ආර්. පරීක්‍ෂාවේදී ඔහු ආසාදිතයකු බවට තහවුරු වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් ඇතුළු ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයෝ 30කට අධික පිරිසක් නාරාහේන්පිට ලේ බැංකු පරිශ්‍රයේදී කොවිඩ් 19 මර්දන එන්නත 8 වනදා ලබාගත්හ.  ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ලබාදුන් බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවැසුවේ කැමැත්ත පළ කළ සියලුම ක්‍රීඩකයන්ට එන්නත  ලබාදීමට කටයුතු කළ බවත් එහිදී වයස ප්‍රශ්නයක් නොවූ බවත්ය. දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, අකිල ධනංජය ආදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙන්ම වනිදු හසරංග ආදී තරුණ ක්‍රීඩකයෝ ද එන්නත ලබාගැනීමට පැමිණ සිටියහ.


  -යොහාන් භාසුර -