dr-saman-rathnayake

ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක කොරෝනා එන්නත් ගැන දැක්වූ අදහස් මේ සමග පළවේ.

කොරෝනා එන්නත් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව මේ වනවිට චෝදනා එල්ලවෙනව. මෙලෙස මුදලට එන්නත් අලෙවි කරන්නන් ගැන ඔබ අමත්‍යාංශය දැනුවත්ද?

ඇත්තට මේ සම්බන්ධයෙන් මම දැනුවත් නැහැ. මට කිසිම පැමිණිල්ලක් ලැබිලත් නැහැ. කොහොම නමුත් එන්නත් එහෙම කවුරු හරි අලෙවි කරනවා නම් එය සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක්. නිරෝධායන නීතිය යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. කෙසේ වුවත් මගේ විෂය පථයට පැවරී තිබෙන්නේ නියමිත ප්‍රමිතියෙන් යුතු එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග එක්ව මෙරට ගෙන්වලා දීමේ වැඩ කොටස හා ඒ එන්නත් වසංගත රෝග විද්‍යා අංශය වෙත ලබා දීම පමණයි. වසංගත රෝග විද්‍යා අංශයේ එන්නත් ගබඩාවට එය භාරදුන් පසුව එතැන් සිට එහි වගකීම වසංගත රෝග විද්‍යා අංශයට තමයි පැවරෙන්නේ.



එන්නත් ගෙන්වීම හා ලබා දීම පෞද්ගලික අංශයට පවරා දීමේ තීරණයක් තිබෙනවාද?

නැහැ, කොහෙත්ම නැහැ. මොකද අපේ ජාතික එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ රජයේ පූර්ණ අනුමැතිය මතයි. එන්නත් පිළිබඳ ප්‍රමිතිය අදාළ එන්නත් නිෂ්පාදන සමාගම විසින් සහතික කළ යුතුයි. යම් හේතුවකින් අදාළ සමාගමට එය සහතික කිරීමට නොහැකි වුණොත් අපි ඒ එන්නත් මිලදී ගන්නේ නැහැ. එන්නත නිෂ්පාදනය කරන අවස්ථාවේ සිට එය රෝගියාට ලබාදෙන තෙක්ම අදාළ ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණයට ලක්වෙනවා‍ යම් හෝ පොඩි අතපසු වීමක් හෝ සිදුවුණොත් අපි ඒ එන්නත් සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කරනවා. නමුත් පෞද්ගලික අංශයේ මෙවැනි ආරක්ෂාකාරී වැඩපිළිවෙළක් සිදුවෙයි කියලා අපිට සහතිකයක් දෙන්න බැහැ‍. මෙරට භාවිත කරන සෑම එන්නතක්ම දිනපතාම අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් සෑම රෝහලක්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම පවත්වාගෙන යනවා‍.

අද වනවිට එන්නත්කරණ වැඩපිළිවෙළේ අලුත්ම තත්ත්වය මොන වගේද?

විශේෂයෙන්ම අපි එන්නත් කරන වැඩපිළිවෙළ කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන කණ්ඩායම ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය සේවාවට වෙනත් සේවාවන් සැපයීම සඳහා දායක වන අයට තමයි මූලික වශයෙන් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. නව ලක්ෂ විසිපන්දාස් දෙසීයක් අපි වැක්සීන් කරලා තියෙනවා.

දෙවන මාත්‍රාව ඊයේ වන විට තුන්ලක්ෂ 15699 ඊ‌යේ වන විට ගසා තිබෙනවා. ඉන්දියාවෙන් ලක්ෂ 5ක් හමුවුණා කොවිෂීල්ඩ් වැක්සීන් ලැබුණා. දෙලක්ෂ හැටහතරදායක් කොවැක්ස් පහසුකම් යටතේ ලැබුණා. ගිවිසුම් ගතවෙලා තිබෙනවා තවත් ලක්ෂ 10ක් කොවිෂීල්ඩ් එන්නත ලබා ගන්න. නමුත් ඉන්දියාවේ ඇති වී තිබෙන තත්ත්වය නිසා ලැබුණේ නැහැ.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා ලබා දුන් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලබා දිය යුතු කාල වකවානුව ඉක්මවා යමින් පවතිනවා. දෙවන මාත්‍රාව ලබා දීම සඳහා කොපමණ කාලයක් ගත වේවිද?

ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වයක් එයි කියලා අපි හිතුවේ නැහැ. අපිට ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස එන්නත් ලක්ෂ 5ක තොගයක් ලැබුණා. අපි ඒ එන්නත් ලක්ෂ 5ම පළමු මාත්‍රාව විදිහට ලබා දුන්නා. දෙවන මාත්‍රාව ලෙස තබා ගත්තේ සුළු කොටසක්. මොකද එහෙම කළේ ඉන්දියාවත් සමග ගිවිසුම් අත්සන් කරලා තිබුණා එන්නත් ලක්ෂ 10ක් සඳහා නමුත් මේ වගේ කොවිඩ් වසංගත තත්ත්වයක් ඉන්දියාවේ ඇතිවෙයි කියලා හිතුවේ නැහැ. කලින් මේ බව දන්නවා නම් පළමු වැක්සීන් තොගයෙන් කොටසක් තියා ගන්නවා. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව දෙන්න අපිට තවත් මාත්‍රා ලක්ෂ 6ක ප්‍රමාණයක් අවශ්‍යයයි. මේ වන විටත් එම ප්‍රමාණය මහා බ්‍රිතාන්‍යයෙන් ලබා දීමට පොරොන්දු වෙලා ති‌යෙනවා. එය අද හෙටම ලැබෙයි. එහෙම ලැබුණාම කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව දෙන්න පුළුවන්.



කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීම සඳහා රටවල් කීයකට කතා කළාද?

ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය වැනි රටවල් සමගත් සාකච්ඡා කළා. එම රටවල්වලින් හෝ අපට එන්නත් තොග ලැබෙනවා නම් අපිට පුළුවන් ජනතාවට එය ලබා දෙන්න.

රටවල් කීපයකම කොවිෂීල්ඩ් එන්නත ලබා ගත්තත් එවා භාවිතයට නොගන්නා බවට වාර්තා පළ වෙනවා. මෙවැනි රටවලින් එන්නත් තොග ලබා ගන්න අදහස් කළේ නැතිද?

අපේ රටේ ජනතාවට අපි එන්නතක් ලබා දෙනවා නම් එය අලුතින්ම නිෂ්පාදනය කළ එකක් තමයි තෝරා ගන්නේ. මොකද විවිධ රටවල් එන්නත ගබඩා කර තිබුණත් ඒවා නියමිත උෂ්ණත්වයක ගබඩා කර තිබෙනවාද කියන එක ගැටලුවක්. අනික මේ එන්නත්වල කාලය ඉකුත්වන දිනය මාස කීපයක් විතරයි තියෙන්නේ. අපි වෙනත් රටක ගබඩා කර තිබෙන එන්නත් ගත්තොත් ඒවා කල් ඉකුත් වීමට පෙර දින කීපයක් තුළ ජනතාවට ලබාදිය යුතු වෙනවා. නමුත් එන්නත්කරණ වැඩපිළිවෙළ දින දෙක තුනකින් අවසන් කරන්න බැහැ. අවම වශයෙන් මාසයක කාලයක්වත් ගතවෙනවා. ඒ නිසා වෙනත් රටවල ගබඩා කර තිබෙන එන්නත් ගෙන්වීමේදී අපට විවිධ ගැටලු මතුවෙන් පුළුවන්. ඒ නිසා අපි ඇණවුම් කරන්නේ අලුතින්ම නිෂ්පාදනය කරන එන්නත් පමණයි.

පළමු එන්නත් මාත්‍රාව ලබා දී නියමිත කාලය ඉක්ම ගිය පසුව දෙවන මාත්‍රාව ලබාදී පලක් වේවිද?

පළමු මාත්‍රාව ලබා දුන් පසුව ප්‍රතිශක්තිය නිෂ්පාදනය කරලා පසුව ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවෙනවා. මෙය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙනවා. මෙසේ අඩු වෙන විට නැවත අපි මාත්‍රාවක් දුන්නාම ශරීරයේ ප්‍රතිදේහ නැවත වැඩිවෙනවා. පළමු මාත්‍රාව දුන් පසුව දෙවන මාත්‍රාව ප්‍රමාද වී හෝ දුන් පසුව ශරීරයේ මතක සෛල ක්‍රියාත්මක වී ප්‍රතිදේහ නිපදවීම ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් මේ වන විට ලොව පුරා සිදුකළ පර්යේෂණයන්ගෙන් තහවුරු වෙලා තියෙනවා අවුරුද්දක් වෙනකල් වැක්සින් වලින් ආරක්ෂාව ලැබෙන බව

කොවිෂීල්ඩ් එන්නත මෑතකදී ලැබෙන්නේ කුමන රටෙන්ද?

මහා බ්‍රිතාන්‍යයෙන්.

බ්‍රිතාන්‍යයෙන් ලැබෙන්නේ ප්‍රදානයක්ද නැතිනම් මිලදී ගැනීමක්ද?

මෙය මිලදී ගැනීමක්.

ගර්භණී මව්වරුන්ට එන්නත ලබා දෙන්න කියලා නාරි හා ප්‍රසව විශේෂඥවරුන් දිගින් දිගටම ඉල්ලීම් කරනවා. මේ ඉල්ලීම්වලට අනුව ගර්භණී මව්වරුන්ගේ ජීවිත රැක ගැනීම සඳහා එන්නත්කරණය ආරම්භ කරන්නේ කවදාද?

ගර්භණී මව්වරුන්ට එන්නත ලබා දෙන්නේද නැද්ද යන්න තීරණ මගේ විෂය පථයට අයත් එකක් නොවෙයි. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනම විෂය පථයට අයත් එකක්. ඒ අය තීරණයක් ගත්තොත් ඒ සඳහා එන්නත් ලබා දීම පමණයි මට කළ හැකි වන්නේ.

සාමාන්‍යයෙන් ලෝකයේ අන් රටවල්වල ගර්භණී මව්වරුන් සඳහා ලබා දෙන එන්නත කුමක්ද?

ෆයිසර් එන්නත හා කොවිෂීල්ඩ් එන්නත තමයි මේ වන විට ගර්භණී මව්වරුන්ට ලබා දී තිබෙන්නේ. ඒ අනුව අප ඉදිරියේදී ෆයිසර් එන්නතින් මිලියන 5ක් මෙරටට ගෙන ඒමට කටයුතු කරනවා. ගර්භණී මව්වරුන්ට මුල් වටයේම එම එන්නත දෙන්න කටයුතු කරනවා.



ෆයිසර් එන්නත ගබඩා කිරීමේ පහසුකම් මෙරට පවතිනවාද?

ෆයිසර් එන්නත් මිලියන 20ක් ගබඩා කිරීමේ පහසුකම් නාරාහේන්පිට රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ තිබෙනවා‍.

දරුවන්ට එන්නත ලබා දීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවාද?

දරුවන්ට එන්නත දෙනවා නම් වයස අවුරුදු 15ට වැඩි අයට තමයි ලබා දිය යුත්තේ. අපි ඇණවුම් කළ එන්නත් ඒ ප්‍රමාණයන්ගෙන්ම අපිට ලැබෙනවා නම් දරුවන්ව එන්නත කරන්න පුළුවන්. නමුත් මේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අංශයන් විසින් තමයි ගත යුතු වන්නේ. දරුවන්ව එන්නත් කරනවා නම් ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා එන්නත් වගේ දෙයක් තමයි භාවිත කළ යුතු වන්නේ. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් අරගෙන නැහැ.

ලංකාව තුළ එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය පසුගියදා ලැබුණා‍. මෙහි ඉදිරි වැඩකටයුතු ගැන යමක් සඳහන් කරනවා නම්?

එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව කරගෙන යාමට අපට ඇති තරම් එන්නත් තිබිය යුතුයි‍. නමුත් මේ වෙලාවේ ලෝකයේ හැම තැනින්ම එන්නත් සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. ඒ නිසා අපේ ඉල්ලුමට සැපයීම් සිදුකරන්න ඒ රටවල්වලට නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටේ එන්නත් නිෂ්පාදනය කිරීමට හැකියාවක් ලැබුණොත් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව කරගෙන යාමට හැකිවෙනවා. ඒ නිසා මෙරට එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.

රටේ ජනතාවගෙන් කොපමණ ප්‍රමාණයකට එන්නත ලබා දීමට අපේක්ෂා කරනවාද?

අපි රටේ ජනගහනයෙන් සියයට 70කට පමණ එන්නතකරණයට ලක්කිරීමට අදහස් කරනවා.

මේ වන විට ජනගහනයෙන් කොපමණ ප්‍රමාණයකට එන්නත ලබා දී තිබෙනවාද?

ලක්ෂ 15ට විතර ඒ කියන්නේ රටේ ජනගහනයෙන් සියයට 6ක් පමණ.

සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරන ඉලක්කය සපුරා ගැනීමට කොපමණ කාලයක් ගතවේවිද?

අපි මේ වන විට එන්නත් වර්ග කීපයක් ඇණවුම් කර තිබෙනවා. ඒ එන්නත් කලට වේලාවට ලැබුණොත් මේ වසරේ දෙසැම්බර් අවසාන වීමට පෙර අපේක්ෂිත කොටසට එන්නත ලබා දීමේ හැකියාව පවතිනවා.

එන්නත්කරණය සම්පූර්ණ වුණාට පස්සෙ කොවිඩ් සම්බන්ධයෙන් තියෙන අවදානම අඩුවෙයිද?

එන්නත් ලබා ගත් පුද්ගලයන්ටත් කොරෝනා වයිරසය අසාදනය වී තිබෙනවා. නමුත් එකම දෙය තමයි ඇතිවන සංකූලතාවන් අඩුයි. මේ නිසා තමයි අපි කියන්නේ එන්නත ලබා ගත්තත් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න කියලා. හැම විටම මුව ආවරණයක් පැලඳීම, අත් නිතරම සබන් ගා පිරිසිදු කිරීම, ඒ වගේම දුස්ථභාවය රැක ගැනීම සඳහා පුද්ගලයන් රැස්වන ස්ථානයන්ට නොයෑම වගේ කරුණු පිළිපදින්න අවශ්‍යයි.

සංවාදය - ශ්‍රියාණි විජේසිංහ (අරුණ)