ds-senanayake-land-government

නාගරික සංවර්ධන කටයුත්තක් සඳහා යැයි සඳහන් කරමින් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට අයත් හා ඊට යාබදව පිහිටි ශ්‍රී බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම් කොටසක් අති විශේෂ ගැසට් පත්‍රයකින් රජයට පවරාගෙන ඇත.



නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනතේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම පවරා ගැනීම කර ඇති අතර ඊට අදාළ ඉඩම් පවරා ගැනීමේ අති විශේෂ ගැසට් පත්‍රය මැයි 19 වැනිදා සහිතව අංක 2228/27 යටතේ නිකුත් කර ඇත.

මෙම නාගරික සංවර්ධන කටයුත්ත යටතේ එම පවරා ගන්නා ඉඩම්වල බහු මහල් රථ ගාලක් ඉදිකිරීමට යෝජිත බව සඳහන් කර ඇති අතර ඒ සඳහා පවරා ගෙන ඇති මුළු ඉඩම් ප්‍රමාණය රූඩ් 2යි පර්චස් 20ක් හෙවත් හෙක්ටයාර් 0.2530කි. ඩීඑස් සේනානායක විද්‍යාලය, ශ්‍රී බෞද්ධාලෝක විහාරය හා ඒ අසල ඇති මහාමාර්ගයේ ඇති ඉඩම්වල කොටස් මෙම පවරා ගන්නා ඉඩමට අයත්වේ.

පවරා ගත් ඉඩමට අදාල දළ සැලසුම නාගරික සංවර්ධන අධිකාරියේ නගර නිර්මාණ ශිල්පිනී ශානිකා සුමනපාල සහ ඉඩම් කළමනාකරු වජිර දිසානායක සකස් කර ඇති බවද එම අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.

ලසන්ත රුහුණගේ (අනිද්දා)