අඩ වැටුප් ගෙවීමට අවසර ලබා දීමේ තීන්දුව ඉල්ලා අස් කරගන්නා ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කිරීමෙන් තොරව පවත්වාගෙන යන ආයතන වලට වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් කම්කරු ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව පෞද්ගලික සේවක මධ්‍යස්ථානය පවසයි.

සෞඛ්‍ය නිර්දේශ මත යොදන සංචරණ කාලසීමාව තුළ පෞද්ගලික අංශයේ ආයතනවල සියලු සේවකයන්ටද වැටුප් සහිත නිවාඩු ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එම මධ්‍යස්ථානයේ සභාපති දුමින්ද නාගමුව පැවසීය.

කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කමින් බිලියන ගණන් ලාභ ගොඩ ගසමින් සිටින සමාගම් හිමිකරුවන්ට මෙවන් ගෝලීය වසංගතයකදීවත් තමන්ගේ ලාභ පිපාසය වෙනුවට තම ආයතනයේ සේවකයන්ට මාසයක දෙකක වැටුපක් ලබා දී

වසංගතය මර්දනය කිරීමට සහාය ලබා දීමට නොහැකි වීම තුළින් ඔවුන්ගේ සැබෑ තත්ත්වය සියලුදෙනාට පැහැදිළි වන බව සභාපතිවරයා පැවසීය.

ඔහු කියා සිටියේ වත්මන් ආණ්ඩුවද සමාගම් හිමිකරුවන්ගේ අවශ්‍යතාවයට අනුව වැඩ හෙළා දකින බවත් එලෙස ආයතන හිමිකරුවන් සේවක ජීවිත පිළිබදව කිසිදු සැලකිල්ලකින් තොරව තම ලාභය පමණක් ඉලක්ක කරමින් කටයුතු කරන තත්ත්වයකදී ආණ්ඩුව විසින්ද ඔවුන්ට අවශ්‍ය ලෙස ක්‍රමවේද සකස් කිරීම බරපතළ ගැටලුවක් බවය.

රෝග ලක්ෂණ තිබෙන සේවක සේවිකාවන් පවා සේවා මුරය සඳහා කැඳවීම, ආසාදිතයකු වාර්තා වුවත් අනෙක් සේවකයන් සේවා මුරය සඳහා කැඳවමින් ආයතන පවත්වාගෙන යාම හරහා විශාල ප්‍රමාණයක් මෙම රෝගය සඳහා ගොදුරු වී ඇති බව හෙතෙම පැවසීය.

අශිකා ජයවීර