ශ්‍රී ලංකාවේ සිටින පාරිභෝගිකයින් අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කරන ජංගම දුරකථන ගුවන් යානා මගින් පාර්සල් ලෙස ලැබුණ පසුව අදාළ නිවාස ලිපිනයන්ට කුරියර් කිරීමට ප්‍රථමයෙන් එම පාර්සල් හොර රහසේ කඩා ජංගම දුරකථන සොරකම් කිරීමේ ජාවාරමක් සිදු කළ කණ්ඩායමක් පොලිස් රැහැනට හසුව තිබේ.
Ebay, Amazon හා  Aliexpress වැනි ප්‍රසිද්ධ විදෙස් අන්තර්ජාල වෙළෙදපොළ හරහා මෙම භාණ්ඩ ඇණවුම් කිරීමේදී ඊට සම්බන්ධවන කුරියර් සමාගමක සේවකයින් පිරිසක් මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි වාර්තා විය.



 ලෝ ප්‍රකට කුරියර් සමාගමක මෙරට නියෝජිතයන් කිහිපදෙනෙකු මේ සොරකම සිදු කර ඇත්තේ අදාළ භාණ්ඩ ගුවන් තොටුපළින්  කුරියර් සමාගමේ වාහන වලට පටවන්නට පෙර සීසීටීවී දර්ශන වලට හසුනොවන තැනකදී වන අතර භාණ්ඩ සැපයුම ගමනාන්තයන් සලකුණු කරන ධූරාවලිය (ට්‍රැකිං) අනුව මෙම භාණ්ඩ ගුවන් තොටුපළට පැමිණ නැති බව සටහන් වන ලෙස ඔවුන් සොරකම සිදු කර තිබේ.


මේ හේතුවෙන් පාරිභෝගිකයින්ට භාණ්ඩ නොලැබුණ පසු පාරිභෝගිකයා විදෙස් අන්තර්ජාල සමාගමට පැමිණිලි කිරීමේදී මෙම භාණ්ඩ ගුවනේදී නැතිවූ භාණ්ඩ ලෙස සලකා මුදල් නැවත ලබාදීම හෝ ඒ ඒ ඇණවුමට අදාළ නීති අනුව එසේ නොවීම හෝ සිදුව ඇත.


මෙකී වංචාවට අත් අඩංගුවට ගෙන ඇත්තේ ලෝක ප්‍රකට කූරියර් සමාගමක මෙරට නියෝජිතයන් දෙදෙනෙකු හා එම ආයතනයෙහි අනියම් කම්කරුවන් කීපදෙනෙකුය..


ගුවන් තොටුපළ හරහා මෙරටට එවන මිල අධික ජංගම දුරකථන ගැන අදාල ලියකියවිලි මගින් දැන ගන්නා එම නියෝජිතයන්, තම කම්කරුවන්ට ඒ බව දැනුම්දී ගුවන් තොටුපලේ CCTV කැමරා නොමැති තැන්වලදී එම පාර්සල් කඩා මෙම සොරකම සිදුකර ඇති බවද වාර්තාවේ. සොරකම් කළ දුරකථන රාශියක් ඉහළ මිලගණන්වලට අලෙවි කර ලක්ෂ ගණනින් මුදල් ඉපැයීමට මොවුන් සමත්ව ඇත. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දුරකථන 16ක් පමණ සොයාගැනීමට පොලීසියට හැකි වී තිබෙයි.
විදේශීය රටක සිටින පුද්ගලයෙකු විසින් මෙරට පුද්ගලයකුට එවන ලද ඇපල් වර්ගයේ දුරකථනයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ලැබුණු පසු එය අතුරුදන් වූ බවට ලද පැමිණිල්ලක් මත එම මෙහෙයුම සිදුකර ඇත.

එම දුරකථනය ලොව ප්‍රමුඛතම කුරියර් සේවාවක් යටතේ මෙරටට ඒවා තිබෙන බවත් මොවුන් ඇපල් වර්ගයේ දුරකථන 19ක් පමණ සොරකම් කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
සැකකරුවන් ඊයේ (08) දින මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (10) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.