කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම් ලා තිබූ 'එම්.වී එක්ස්ප්‍රස් පර්ල්' නෞකාව ගිනි ගැනීමට ලක්වුණේ පසුගිය 20වන දාය.නෞකාවේ බහාලුම් සියල්ලම මේ වනවිට ගින්නෙන් විනාශ වී තිබේ.
මේ අතර අද සවස ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරමින් නාවික පුවත් සේවයක් වාර්තා කර තිබුනේ කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති රසායන කාන්දුව පළමුව හඳුනාගත්තේ ශ්‍රී ලංකාවට කිලෝමීටර දහස් ගණනක් දුරින් පිහිටි අරාබි මුහුදේදී බවත් ඉන්දියාව සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකකට ඇතුළුවීමට උත්සාහ කර ඇති නමුත් නෞකාවට එම වරායන් දෙකට ඇතුළුවීම සඳහා අවසර හිමි නොවූ බවත්ය.
නමුත් මේ සම්බන්ධයෙන් නෞකාව අයත් සිංගප්පූරු සමාගමේ විධායක අධ්යක්ෂ ටිම් හාට්නෝල් පවසා ඇත්තේ නෞකාව ඒ කියන වරායන් දෙකටම ගිය බවයි. තමන් එම වරාය වල ගොඩබෑම්ද සිදු කළ නමුත් සත්‍ය තත්වය නම් කාන්දුව පැවති කන්ටේනරය බාරගැනීම පමණක් එම වරාය දෙක ප්‍රතික්ෂේප කිරීම බව ඔහු පවසා තිබේ.
ටිම් හාට්නෝල් උපුටා දක්වමින් පෙරකී වෙබ් අඩවිය මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුළ ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය කාන්දුව බවට පැහැදිලි කර ඇති අතර ඔහු එය පිළිගනී.
මෙම නෞකාව තුළ බහාලුම් 1,486 ක් තිබී ඇති අතර නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් අඩංගු බහාලුම් කිහිපයක් ද ඒ අතර තිබී ඇත.
නයිට්‍රික් ඇසිඩ් රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් නෞකාවේ ගින්න හටගෙන ඇත.
මෙම අනතුර හඳුනාගත් අවස්ථාවේ නෞකාවේ කපිතාන්වරයා විසින් ඉන්දියාවේ හසීරා සහ කටාර් රාජ්‍යයේ හමාඩ් යන වරායන්වලට නෞකාව ඇතුළු කිරීම සඳහා අවසර ඉල්ලා යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් කොළඹ වරාය වෙත මෙම නෞකාව යාත්‍රා කරවා ඇති කතාව ඒ අනුව වෙනස් මුහුණුවරක් ගනී.
එක්ස් ප්‍රෙස් නැව් භාණ්ඩ ප්‍රවාහන සමාගමේ ප්‍රකාශකයෙකු කියාසිටියේ එම් වී එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාව ඉන්දියාවේ හසීරා සහ කටාර් රාජ්‍යයේ හමාන් වරායන්ට පිවිස භාණ්ඩ ගොඩබෑමේ සහ පැටවීමේ කටයුතු කලින් යොදාගත් සැලසුම පරිදි සිදුකළ බවයි.
එහිදී නයිට්‍රික් අම්ලය සහිත එක් කන්ටේනරයක කාන්දුවක් සිදුවන බව දැන ගැනීමෙන් අනතුරුව එම කන්ටේනරය මෙම වරායන්හි ආරක්ෂිතව ගොඩබෑමට අවසර ඉල්ලා තිබෙන නමුත් එවැනි රසායන ද්‍රව්‍ය ගබඩාකර තැබීමට හෝ මෙහෙයවීමට අවශ්‍ය විශේෂඥ දැනුම එම වරායන් සතුව නොමැති බව පවසමින් එම වරායන් එම ගොඩ බෑමට පමණක් අවසර ලබාදී නැත.
නෞකාවේ ඊළග ගමනාන්තය වන කොළඹ වරාය කරා එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාව ගමන් අරඹා ඇත්තේ ඉන්පසුය.
එසේ පැමිණීමෙන් අනතුරුව කොළඹ පිටත වරායේ නැංගුරම්ලා තිබියදී අදාළ නයිට්‍රික් ඇසිඩ් අඩංගු කන්ටේනරය අවටින් ගින්න ආරම්භ වී තිබෙයි.
පසුගිය 19 වනදා රාත්‍රියේ පිටත වරායට පැමිණි මෙම නෞකාව ගුවන්විදුලි පණිවුඩ ඔස්සේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලක මැදිරිය අමතා පවසා ඇත්තේ එය එදින මධ්‍යම රාත්‍රියේ වරායට පැමිණෙන බවයි. ඒ අවස්ථාවේ වරායේ නැංගුරම්පොළ සූදානම් නොමැති බැවින් එය පිටත වරායේ නැංගුරම්ලා තිබෙන නමුත් ඒ මොහොතේදීත් නැව තුල කිසිදු විශේෂිත සිද්ධියක් පිළිබඳ දැනුම්දීමක් සිදුවී නැත.
මෙම හරවා එවීමේ සිදුවීම ගැන වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේ,
"මේ සම්බන්ධයෙන් තාම අපිට කිසිම තොරතුරක් ලැබෙන්නේ නෑ. සෑම අංශයක් ගැනම අපි හොයලා බලනවා," යනුවෙනි.
0 Comments