කොවිඩ් අවදානම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් පහක් වසා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී.කේ. අතවලුගේ මහතා පැවැසීය. මෙසේ වසා දමා ඇත්තේ මත්තල, ඉමදුව, කඩුවෙල, කොතලාවල සහ කොට්ටාව යන පිවිසුම්ය.   දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කොවිඩ් ආසාදිතයන් විසි දෙනකුට ආසන්න සංඛ්‍යාවක් දැනට හඳුනාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවත් ඔවුනට ආශ්‍රිත වූ සේකයන් තවත් පිරිසක් නිරෝධායනයට යවා ඇති බවත් අතලුවගේ මහතා කීය.




අධිවේගී මාර්ගයේ සේවකයන් නිරෝධායනය කිරීම සඳහා වෙනම නිරෝධායන මධ්‍යස්ථාන කීපයක් පිහිට වූ බවද ඔහු ප්‍රකාශ කළේය. මේ අතර බස් රථවලට හා ගිලන්  රථවලට පමණක් මුදල් අය කිරීමකින් තොරව කොට්ටාව පිවිසුමෙන් පිට වීමට අවස්ථාව සලසා දී ඇති බවත් සෙසු වාහනයට ඉදිරි පිවිසුම්වලින් පිටවීමට  නියම කර ඇති බවත් සභාපතිවරයා කීවේය.  වසා දැමුණු පිවිසුම් පහ තත්වය සමනය වූ වහාම යළි විවෘත කිරීමට පියවර ගන්නා බව කී අතලුවගේ මහතා එම පිවිසුම් දිගු කාලයක් වසා දැමීමට අරමුණක් නැතැයි ද සඳහන් කළේය.

 -සුජිත් හේවාජුලිගේ-