කොරෝනා වයිසරය ශීඝ්‍රයෙන් පැතිරෙමින් යන පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදකලා කිරීමෙන් පසුව එය ඉවත් කිරීමට ඇමැති ගාමිණී ලොකුගේ මහතාගේ මැදිහත්වීමක් සිදුවූයේ ඔහුට අයත් ඉඩමක ප්‍රසිද්ධ සමාගමක ගබඩාවක් පිහිටා තිබීම හේතුවෙන් බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.




කොරෝනා වයිසරය වේගයෙන් පැතිරීම හේතුවෙන් පිළියන්දල පොලිස් බල ප්‍රදේශයම හුදෙකලා කරන ලෙසට සෞඛ්‍ය බලධාරින් නිර්දේශ කර තිබියදී එම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාසය කිහිපයක් හුදෙකලා බවින් මුදාහැරීම සිදුවූයේ එම ඇමැතිවරයාගේ බලපෑම නිසා බව ඔවුහු පවසති.
කොරෝනා ව්‍යාප්තිය නිසා පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලාකර පැය කිහිපයක් තුළ එය ඉවත් කිරිමට රජය තීරණය කිරීමත් සමග ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරිහු ඒ සම්බන්ධයෙන් විරෝධය පළකළහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තාක්ෂණික කමිටුවක් පත්කරනු ලැබූ අතර,
එම කමිටුව අදාළ වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බාරදී තිබිණි. එම වාර්තාවේ නිර්දේශවලට අනුව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 04ක් ඊයේ (07) හුදෙකලා කෙරිණි.
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ, තමාට අයත් ඉඩමක වසර 20ක පමණ කාලයක සිට ප්‍රධාන සමාගමක ගබඩාවක් පවත්වාගෙන යන බව සත්‍ය නමුත් එය හේතුකොට ගෙන තමන් එවැනි ඉල්ලීමක් නොකළ බවය.

(නිමන්ති රණසිංහ)