ගම්පහ උඩවෙල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙන් රුපියල් 80,000ක පමණ මුදලක් සොරාගෙන ගිය බව කියමින් සැකපිට අත්අඩංගුවට ගැනුණු 20 හැවිරිදි තරුණයා අන්ත අසරණයකු බව දැනගත් විහාරයේ හිමිනම ඒ ගැන අනුකමපා කර පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන ඔහු මුදාහැරි බැව් පල්ලෙවෙල පොලීසිය කියයි.



සැකකාර තරුණයා කෙරෙහි අනුකම්පා කර ඔහු මුදාහරින ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියේ උඩවෙල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරවාසී එළිවිටියේ ඥානරතන හිමියන් විසිනි.එළිවිටියේ ඥානරතන හිමියන්ගෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසූ අවස්ථාවේ උන්වහන්සේ මෙසේ පැවැසූහ.“මම රෝගී තත්වයෙන් පසුවන හිමිනමක්. හඳුනන හිමිනමකගේ මාර්ගයෙන් මෙම 20 හැවිරිදි තරුණයා මා වැඩවාසය කරන පන්සලට ගෙන්වා ගත්තා. ඉන්න වෙනම කාමරයක් ද පිළියෙළ කර දුන්නා.

ඔහුට රියැදුරු බලපත්‍රයක් ද අරගෙන දෙන්නම් කියා මම කිව්වා. බොහොම හොදින් පන්සලේ වැඩ කටයුතු කරගෙන දවස් හතරක් විතර හිටියා. ඊට පස්සේ පන්සලේ කබඩ් එකක බහා තිබූ රුපියල් 80,000ක මුදලක් ද සොරාගෙන පලා ගියා. මම මේ ගැන. පල්ලෙවෙල පොලීසියට පැමිණිලි කළා. පොලීසියෙන් සැකකාර තරුණයා අත්අඩංගුවට ගත්තා. මේ බව දැනුම් දුන්නාට පස්සේ මම පොලීසියට ගියා. මොහු ඉන්න හිටින්න තැනක් හෝ කාගෙවත් හවුහරණක් නොමැති කෙනෙක් බව පොලීසියේදී දැනගත්තා. ඒ ළමයාගේ අම්මාට මා දුරකතනයෙන් කතා කර පුතා ගැන විස්තර විමසුවා. කුඩා කාලයේ සිටම පුතා ළමා නිවාසයක හැදුණු වැඩුණ බවත් ඔහුගේ හිතුවක්කාරකම නිසා බාර නොගන්නා බවත් කිව්වා. මොහුගේ තාත්තා මිය ගොස් ඇති බවත් දැනගත්තා.මොහු ගැන ඇසුවාම මට ලොකු අනුකම්පාවක් ඇති වුණා.



සොරකම් සිදුකළ බව මොහු පිළිගත්තා. සොරාගත් සල්ලිවලින් රුපියල් 40,000කට ජංගම දුරකතනයක් ගත් බවත් ඔහු මට කිව්වා. බුදු දහමෙන් වැරැදිකරුවන්ට සමාව දෙන්න කියා තිබෙනවා. ඒ නිසා මම ඔහුට නීති මගින් කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටියා. පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තා. ඒ අනුව ඒ තරුණයා පොලිසියෙන් මුදාහැරියා" යැයි එළිවිටියේ ඥානරතන හිමියෝ පැවැසූහ. මෙම සැකකරු අවුරුදු 5ක තරම් වයසේ පසුවන කාලයේ සිට ළමා නිවාසයක හැදී වැඩී අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා ඇතැයි පොලිසිය කියයි.අවුරුදු 14ක පමණ වයස වනතෙක් මෙම සැකකරුගේ පියා ඔහු බැලීමට පැමිණ ඇති බවත් පසුව ඔහු මියගොස් ඇති බවත් සැකකරුට දැනගැනීමට ලැබී ඇත. මෙම මව ගැන තොරතුරු සොයා බලා වසර 18ක පමණ කාලයකට පසු ඇය සොයාගෙන ගොස් තිබේ.

තමාගේ පුතා බව මට විශ්වාස නොකළ නිසා ඔහු (සැකකරු) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් උපැන්න සහතිකයක් ලබාගෙන එය මවට ගෙන ගොස් බාර දී ඇත.

උප්පන්නය පෙන්වා සිටීම නිසා මව ඔහු තම පුතා බව පිළිගෙන ඇති බව කියති. සැකකරු මේ තොරතුරු පලෙවෙල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් දිසානායක මහතා සමග හෙළිකර තිබෙන බව දැනගැනීමට ඇත. මව සිය පුතා බාර ගැනීමට අකැමැත්ත ප්‍රකාශ කළ බව පොලීසිය කීය.සැකකරු මීගමුව කටාන ප්‍රදේශයේ කුලී වැඩ කර ජීවිකාව ගෙන යන බව පැවැසේ. ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් දිසානායක මහතා ද සැකකරු කෙරෙහි අනුකම්පා කර ඔහුට අවශ්‍ය උපකාර කිරීමට ඉදිරිපත්ව ඇති බව කියති. පල්ලෙවෙල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත රත්නායක මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් දිසානායක සහ උපපොලිස් පරික්ෂක ප්‍රසන්න කරුණාතිලක යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ඇත.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)