garments-covid19

කටුනායක හා අනෙකුත් නිදහස් වෙළඳ කලාපවල මෙන්ම උතුරේත් ඇඟලුම් කර්මාන්තවල මේ වන විට කොවිඩ්-19 රෝගයට ගොදුරු වන සේවක පිරිස ඉහළ යද්දී ඔවුන් වෙත නිවාඩු ලබා දීමට හෝ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව සැපයීමට ආයතන ප්‍රධානීන් පියවර ගෙන නැති බව වෙළඳ කලාප සේවක සංගමය පවසයි.

ඇඟලුම් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රමාණවත් වගවීමෙන් යුක්තව කටයුතු නොකරන බව මෙම සංගමයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක "අරුණට " කියා සිටියේය.

රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල සේවයට ගෙන්වන්නෙ සේවකයෝ සියයට 25ක් පමණක් වුවත් ඇඟලුම් කම්හල්වල සියලු සේවකයන් පැමිණෙන නිසා බරපතළ තත්ත්වයක් මතු වී ඇති බව ඔහු කියා සිටියේය.



මෙම කර්මාන්තශාලා වල සේවකයන් සියයකට පීසීආර් කළහොත් විසිපස් දෙනෙකුම ආසාදිතයන් බවට පත්ව ඇති බවත් වෙළඳ කලාපවල තත්ත්වයද අතිශය බරපතළ වෙමින් පවතින බව ඔහු පැවසීය.මේ වනවිට කටුනායක සහ බියගම කලාප වල දිනකට සේවකයන් තුන්සියයක් පමණ කොරෝනා ආසාධිතයන් බවට පත්වන බව හෙතෙම පැවසීය.

පසුගිය අවුරුද්දෙ නොවැම්බර් 13 ජාත්යන්තර කම්කරු සංවිධානය ආණ්ඩුවේ බලධාරීන්ට හැම ආයතනයකම කොවිඩ් නිවාරණ සෞඛ්‍ය කමිටු පිහිටුවන්න යැයි පැවසූවත් ඒ අනුව කටයුතු කර ඇත්තේ ආයතන දෙකක් පමණක් බව ඔහු පැවසීය.

නියමිත මීටරයේ පරතරයවත් සේවකයන් අතර නොමැති බවත් දින තුනකට සැරයක් හෝ මෙම ආයතන පරිශ්‍ර විෂබීජහරණය සිදු නොකරන බව ඔහු පැසුවේය. එක අංශයක සේවයකයෙකු අසනීප වුවහොත් ආසන්න කෙනා පමණක් එම ස්ථානයෙන් ඉවත් කරත් අනෙක් අය වැඩ කළ යුතු බව ඔහු අවධාරණය කළේය.



බෝඩිම් වල නවාතැන්ගෙන සිටින සේවකයන්ටද සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැති බවත් පොදුවේ වැසිකිළි භාවිතා කරන නිසා මෙම රෝගය ව්‍යාප්ත වීමේ වේගය වැඩි බව ඔහු පැවසීය. මේ සදහා එකම විසඳුම වන්නේ කිසියම් සුදුසු කාල සීමාවක් වැටුප් සහිත නිවාඩු ලබාදී කර්මාන්ත ශාලා වසා තැබීම බවත් නැතිනම් නියමිත ප්‍රමිතීන් සම්පාදනය කර සේවකයින්ට නවාතැන් පහසුකම් කර්මාන්ත ශාලා තුළ ලබාදී ඒවා පවත්වා ගෙනයාම බව ඔහු පෙන්වා දුන්නේය.

හෙතෙම වැඩිදුරටත් පැවසුවේ මෙවර නම් ආයතන තමන්ගේ සේවක පිරිස් ගැන වගකීම ගත යුතු බවත් එසේත් නොමැති වුවහොත් අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමුවා මෙන් සියල්ලම නිෂ්ඵල වන බවය.

අශිකා ජයවීර