homagama-covid19-dead

හෝමාගම මූලික රෝහලන් ඉකුත්දා අවස්ථා දෙකකදී පලාගිය කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මුලික රෝහල් පොලීසිය පවසයි.  මෙසේ මියගොස් ඇත්තේ රාගම, ඉහළගම, නො. 1090 හි පදිංචි එම්.ඩබ්ලිව්. ඉන්ද්‍රසිරි නමැති 65 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.  මෙම පුද්ගලයා රාගම නගරයේ තැඹිලි වෙළඳාමේ නිරතව සිටියදී ඇති වූ රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ෙදාම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඉකුත් 5 වැනිදා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබූ බව පැවැසේ.



පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටී රෝගියා ඉකුත් 14 වැනිදා උදැසන 6ට පමණ රෝහලෙන් පලාගොස් යාබද නිවෙසක් අසල සැඟව සිටියදී අල්ලාගෙන රෝහල් වාට්ටුවකට ඇතුළත් කර සිටියදී එදිනම සවස තුනට පමණ දෙවන වරටත් පලාගොස් තිබූ බව පොලීසිය කියයි. ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශය යුහුසුලුව ක්‍රියාත්මක වී රෝහල අවට පරීක්ෂා කිරීමේදී රෝහලේ සිට මීටර් පන්සියයක් පමණ දුරින් පිහිටි ගලවිලවත්ත දුම්රිය ස්ථානය අසල නිවසක් පිටුපස සැඟව සිටියදී සොයාගත් බව පොලීසිය කියයි. ඒ අනුව රෝගියා අල්ලාගෙන රෝහලට රැගෙනවිත් වාට්ටුවක් තුළ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබු බව පොලීසිය පවසයි. ඒ අනුව මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමෙන් අනතුරුව මීගොඩ මුතුහේනවත්ත පොදු සුසාන භූමියේදී නිරෝධායන උපදෙස්වලට අනුව ආදාහනය කළ බව පොලීසිය පවසයි.