ප්‍රේමතිලක දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් රෝහලේ දමාගිය වයෝවෘද්ධ පුද්ගලයකුගේ මළ සිරුර නිසි ගෞරවය ලබා දී අවසන් කටයුතු සිදුකිරීමට හොරණ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතා පියවර ගත්තේය.

සිරිමාන්න ආරච්චිගේ දයාරත්න 75 හැවිරිදි එක් දරු පියා ගෝවින ප්‍රදේශයේ කුලී නිවසක බිරිය සහ දරුවා සමග පදිංචිව සිට ඇති අතර ඉකුත් මාර්තු 15 වැනි දින රෝගී තත්වයක් හේතූවෙන්හොරණ මූලික රෝහලේ 15 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබූ බව පොලීසිය කියයි. මාස දෙකකට ආසන්න කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් පස් වැනි දින එම පුද්ගලයා මියගොස් තිබූ අතර රෝහල් බලධාරීන්ගේ දැනුම් දීම මත පවුලේ ඥාතීන්ට ඒ බව දැනුම් දීමට හොරණ පොලීසිය මගින් බුලත්සිංහල පොලීසිය හරහා කටයුතු කළ ද එම ලිපිනයේ කිසිවකු පදිංචිව නොසිටීමෙන් ගැටලු සහගත තත්වයක් ඇති වී දින 8කට පමණ පසු මියගිය අයගේ බිරිය සහ දරුවා හොරණ මුණගම වවුලුගලකන්ද ප්‍රදේශයේ නිවසක සිටින බව දැනගැනීමට ලැබීමෙන් අනතුරුව ඔවුන්ට ඒ බව දැනුම් දීමට පියවර ගත් බව පොලීසිය කියයි.



ඒ අනුව මියගිය අයගේ බිරිය සහ දරුවා රෝහල වෙත පැමිණ මියගොස් ඇත්තේ තම ඥාතියා බව හඳුනාගෙන තිබේ. අනතුරුව ඉකුත් දොළොස් වැනි දින හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා මරණ පරීක්ෂණය ද පැවැත්වීය. මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර භාරදීම සඳහා පැය කිහිපයක් තිස්සේ ඥාතීන් සොයා බැලුව ද ඔවුන් රෝහලින් පිටවී ගොස් ඇති බව දැනගැනීමෙන් අනතුරුව දැඩි ගැටලුවකට මුහුණ දුන් රෝහල් බලධාරීන් මෙන්ම හදිසි මරණ පරික්ෂකවරයා ඒ බව හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලීසිය කියයි.වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා මියගිය පුද්ගලයාගේ සමීප ඥාතීන් පදිංචි මුණගම වවුලුගල නිවෙස වෙත ගොස් ඒ පිළිබඳ විමසීමේදී තමන්ට එදා වේලවත් කෑමට මුදල් නොමැති බවත් මළ සිරුරට පෙට්ටියක් ගැනීම හෝ එය තබා ගැනීමටත් නිවසේ ඉඩ පහසුකම් නොමැති හෙයින් මළ සිරුර රෝහලේ දමා පැමිණි බවත් අනාවරණය වූ බව පොලීසිය කියයි.

එම ප්‍රකාශයේ සත්‍යතාව එසැණින්ම වටහා ගත් ස්ථානාධිපතිවරයා හොරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට එම පුවත සැළ කිරීමට කටයුතු කර මඳ වේලාවක දී එම ව්‍යාපාරිකයා මළ සිරුරේ අවසන් කටයුතු නිසි ආකාරයෙන් සිදු කිරීමට ප්‍රදේශයේ මශාලාව වෙත උපදෙස් දී ඒ වෙනුවෙන් වැය වන මුදල් දැරීමට ද පොරොන්දු වීමෙන් අනතුරුව සමීප ඥාතීන්ට ද අස්වැසිල්ලක් මෙන්ම මියගිය අයට ගෞරවයක් වන පරිදි මශාලාව තුළ දිනක් මළ සිරුර තබා හොරණ මුණගම සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට පොලීසිය හා එක්ව කටයුතු කළහ. දැඩි ආර්ථික අගහිඟකම් හේතුවෙන් කාත් කවුරුත් නොමැති මිනිසකු ලෙස මහ පොළොව මත මිහිදන් වීමට තිබු වයෝවෘද්ධ පුද්ගලයාගේ මළ සිරුරට ලැබිය යුතු ගෞරවය ලබාදෙමින් අවසන් කටයුතු සිදු කිරීමට මූලිකව කටයුතු කළ හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මහතාට, ඔහුට සහාය වූ පොලිස් පරීක්ෂක විමලරත්න සහ පොලිස් සැරයන් (3005) උපාලි යන නිලධාරීන්ට මේ බව දැනගත් පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතා පොලිස් දෙපාර්තමේන්තුවට ගෞරවයක් වන ලෙස වැඩදායී මෙහෙවරක නිරත වීම සම්බන්ධයෙන් පෞද්ගලිකව ස්තුතිය ප්‍රකාශ කළේය.

 (බිමල් ශ්‍යමන් ජයසිංහ)