මේ වන විට ඉන්දියාවේ පවතින දැඩි කොවිඩ් අවධානම් තත්ත්නවය හේතුවෙන් ඉන්දියානුවන් විශාල වශයෙන් වෙනත් රටවලට පළායෑමේ සිදුවීම් වාර්තා වන අතර ඉන්දියාවේ චෙන්නායි කුප්පම් හි සිට පසුගිය 30 වනදා නීතිවිරෝධීව මෙරටට පැමිණි කාන්තාව සහ දරු දෙදෙනා පුත්තලම පොලීසිය විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවක් සිය දරු දෙදෙනා ද සමඟින් මෙරටට පැමිණ තිබුණේ පසුගිය 30 වැනිදා අලුයමයි. අනතුරුව පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටි ඔවුන්ව පොලීසිය සහ සෞඛ්‍ය අංශ විසින් සොයාගනු ලැබීමෙන් පසු නිරෝධායනයට යොමු කෙරුණි.
පසුව අදාළ කාන්තාව සහ වයස අවුරුදු 13 ක් සහ 4 ක් වූ ඇගේ දරු දෙදෙනා ඊයේ (02) පී.සී.ආර්.පරීක්ෂණ සඳහා පුත්තලම මූලික රෝහල වෙත යොමු කෙරුණි. එම කාන්තාව අද පෙරවරුවේ පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන නීතින් උල්ලංඝනය කිරිමේ චෝදනාව යටතේය.
කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී රුපියල් 50,000 ක පමණ මුදලකට ඉන්දියාවේ සිට මෙරටට බෝට්ටු මගින් ගෙනවිත් දැමීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බවටද අනාවරණයවී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ කාන්තාව ආගමන විගමන නීතින් යටතේ අද දින පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.
ඒ අතර ඉන්දියානුවන් මෙරටට රහසේම පැමිණීම ඉතාමත් අවදානම් තත්ත්වයක සිටින අප රටටද දැඩි සෞඛ්‍ය තර්ජනයක් බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
එම සංගමය ශ්‍රී ලංකා පොලීසියෙන් හා නාවුක හමුදාවෙන් ඉල්ලා සිටින්නේ ඉන්දියානුවන් මෙරට මුහුදු මාර්ග ඔස්සේ අනවසරයෙන් පැමිණීම වළක්වා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසයි.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෙරළාශ්‍රිත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉන්දියානු පුරවැසියන් හෝ එවැනි පුරවැසියන් යැයි සැකසහිත ඕනෑම අයෙක් ගැන වහාම ළඟම පිහිටි පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර අද (03) දහවල් නාවික හමුදාව මගින් ිනවේදනය කලේ නීති විරෝධී සංක්‍රමණ වැළකීමට නාවික හමුදාව දැඩි රැකවල් යෙදවූ බවයි. විදෙස් යාත්‍රා සමග ලංකාවේ ධීවරයන්ට සබඳතා නවතන ලෙසද නාවික හමුදාව නිකුත් කළ නිවේදනයකින් ඉල්ලා තිබේ.
0 Comments