ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (අයි. පී.එල්.) කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් තාවකාලිකව අතරමග අත්හිටුවීමට සිදු වීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉන්දීය රුපියල් කෝටි 2000කට වැඩි පාඩුවක් සිදුව තිබේ. තරග විකාශන සහ අනුග්‍රාහක මුදල් අහිමි වීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට මෙම මූල්‍ය පාඩුව සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.  මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 60ක් පැවැත්වීමට නියමිතව තිබුණද කෝවිඩ්-19  වසංගතය හේතුවෙන් තරගාවලිය අත්හිටුවන විට පවත්වා තිබුණේ තරග 29ක් පමණි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට වැඩිම මූල්‍ය පාඩුවක් සිදු වන්නේ අයි.පී.එල්. තරග විකාශන අයිතිය හිමිකරගෙන සිටි ස්ටාර්ස්පෝර්ට්ස් ආයතනයෙනි.ස්ටාර් ස්පෝර්ට්ස් ආයතනය සහ ඉන්දීය. ක්‍රිකට් පාලක මණ්ඩලය අතර අයි.පී.එල්. තරග සඳහා වසර 05ක ගිවිසුමක් අත්සන් තබා ඇති අතර, එහි වසරක වටිනාකම ඉන්දීය රු. කෝටි 3269.4කි. ඒ අනුව වසර 5ක් සඳහා සමස්ත වටිනාකම රුපියල් කෝටි 16347කි. තරග විකාශන අයිතිය අහිමි වීමෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදු වන මූල්‍ය පාඩුව ඉන්දීය රුපියල් කෝටි 1690ක් ලෙස ගණන් බලා තිබේ. මේ අතර, අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වන 'විවෝ' සමාගමෙන් රුපියල් කෝටි 440ක මුදලක් තරග වාරයක් සඳහා (වසරකට) ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හිමිවේ. කෙසේ වෙතත්, තරගාවලිය අතරමගදී කල් දැමීම නිසා එම මුදලද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අහිමි වී තිබේ.