මාතලේ පල්ලේපොළ සහ යටවත්ත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලවල පදිංචිකරුවෝ තිදෙනකු කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට බස් රථයකින් ගෙනැවීත් දඹුල්ල පොලිසිය ළග දමා යෑම හේතුවෙන් නිවෙස්වලට යෑමට නොහැකි බව පවසමින් 13 පස්වරුවේ එහි රැඳී සිටියහ. මෙම තිදෙනා කියා සිටියේ උදෑසන යුද හමුදා බස් රථයකින් කන්දකාඩු සිට රැගෙන ආ බවය. බස් රථයෙන් අනෙක් කණ්ඩායම් රැගෙන කොළඹ බලා පිටත්ව ගිය බවත්, දඹුල්ල පොලිසිය හරහා වාහන ලබාගෙන නිවෙස්වලට ගමන් කරන ලෙස උපදෙස් දී පිටව ගිය බවත් ඔවුහු කියති.
කෙසේ වෙතත් දින හතක කාලයක් එම කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි බවත් කිසිදු ප්‍රතිකාරයක් හෝ අවසන් පිසිඅර් පරික්ෂණයක් හෝ නොකොට මෙයාකාරයෙන් සමාජයට මුදාහැරීම නිසා බරපතළ තත්ත්වයක් ඇති වන බවත් ඔවුහු පවසති. එමෙන්ම මෙම රෝගය තමන් බලහත්කාරයෙන් වැළඳ නොගත් බව ද සමාජයේ තමන් ඇතුළු කණ්ඩායම් පිළිකුල් කිරීම නිසා කුසගින්නේ සිටින බව ද ඔවුහු දැඩි වේදනාවෙන් යුතුව පවසන්නට වූහ.දවස පුරා නිරාහාරව සිටි මෙම තිදෙනාට දඹුල්ල පොලිසියේ අපනශාලාවේ තිබූ සුළු ආහාරයක් ලබා ගැනීමට ඔවුන්ට හැකිවිය. උදෑසන ආහාර ගැනීමෙන් පසු කිසිදු ආහාරයක් නොමැතිව තවත් කිලෝමීටර් 50ක පමණ දුරක් තමන්ට ගමන් කිරීමට සිදුව ඇති බවත් මෙම වයිරස් තත්වය වෙනත් අයෙකුට ශරීරගත නොවී තම කණ්ඩායම පා ගමනින් මෙම ස්ථානයේ සිට නිවසට යන බව ද කීහ.
කෙසේ වෙතත් දඹුල්ල මූලස්ථාන පොලීසියේ ඉහළ නිලධාරියකු කියා සිටියේ බොහෝ දුරට ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිට නිවෙස් බලා ගමන් කරන කණ්ඩායම් මෙයාකාරයෙන් පොලිස් ස්ථානවල ආසන්නයේ බස්සවා ඔවුන්ගේ නිවෙස් වලින් වාහන ගෙන්වාගෙන ගමන් කිරිම් සිදු කරන බවය. ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරින් පෞද්ගලික වාහනයක් හෝ සොයා එම පිරිස් නිවෙස්වලට ඇරලවීම සිදුකරන බව ද සඳහන් කළේය. මේ දිනවල දැඩි අපහසුතා සහ සංචාරය සීමා පනවා ඇති නිසා පෞද්ගලික වාහන ලබා ගැනීමට නොහැකි බරපතළ තත්වයක් පසුවන බවත් පොලිසිය කියයි. පොලිස් ස්ථානයේ ඇති වාහන ද මේ වන විට විවිධ අවශ්‍ය රාජකාරි සඳහා යොමු කර තිබීම නිසා මෙම කණ්ඩායම් පෞද්ගලික වාහනයක් ගෙන්වාගෙන නිවෙස්වලට යන ලෙස උපදෙස් ලබා දුන් බව ද පැවසීය.
-කාංචන කුමාර ආරියදාස-
0 Comments