kandy-sign-process

මහනුවර දිස්ත්‍රික් කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන අතරතුර ස්පුට්නික්5 එන්නතේ එක් මාත්‍රාවක් පමණක් හෝ ලබා ගැනීමට කැමති බවට අත්සන් ලබාගෙන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව වාර්තාවේ. එන්නත ලබාදෙන ස්ථානවල කිසිවෙකුගේ නමක් සදහන් නැතිව සීල් සටහනක් මත අත්සන ලබාගෙන ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශය මේ ගැන දැනුවත් නැති බව පැවසේ.
මේ වනවිට වාර්තාවන්නේ එය දේශපාලන උවමනාවට සිද්ධවූ දෙයක් බවය. ශ්‍රී ලංකාවට ස්පුට්නික්5 එන්නත මාත්‍රා 15000 ක් මුලින් ලැබුණ අතර එම කොටස සෞඛ්‍ය අංශ හා දෙමටගොඩ අයිඩීඑච් අවට පිරිසකට මුලදී ලබාදුණි.
අනතුරුව දෙවැනි තොගය 65000 ක් ලැබේ යයි විශ්වාස කළද ලැබුනේ 50000 කි. එම 50000 ම මහනුවර ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහනට යොදන ලදි. තවම එය ක්‍රියාත්මක වෙමින් පවතී. ස්පුට්නික් එන්නත නිෂ්පාදනය කළ රුසියාව මේ ගැන වෛද්‍ය සටහන් ප්‍රසිද්ධ කර ඇත්තේ එන්නතේ නිසිඵල ලැබීමට නම් පළමු මාත්‍රාව ලබා දින 21 ත් මාස 3 ත් අතර කාලයේ දෙවැනි එන්නත ලබාදිය යුතු බවකි.ඔවුන් තනි මාත්‍රාවේ එන්නතක් අත්හදාබලා ඇති මුත් එය තවම වෙනත් රටවල්වලට යැවීමට නිකුත් කර නැත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මාත්‍රා දෙකේ ස්පුට්නික් එන්නත ලබාදීම අනුමත කරන අතරම මෙම එන්නත් නිෂ්පාදනය හා ඒවා භාවිතාව ගැන උපදෙස් ලබාදී යම් රටක් නිවැරදි ලෙස එය යොදාගන්නේදැයි අධීක්ෂණයේ පසුවේ.
එවැනි වෛද්‍ය විද්‍යාත්මක පසුබිමක් තිබියදී මහනුවර ප්‍රදේශයේ එන්නත් ගැන විද්‍යාත්මකව අවබෝධයක් නොමැති සාමාන්‍ය පුද්ගලයින් ඉලක්ක කරගෙන ඔවුන් රවටමින් තනි එන්නතක් වුණත් ඇති යන්නට අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම විමතිදායක වන අතර එම අත්සන් ගැනීම කරන්නට කිව්වේ කවුදැයි කිසිවෙකු නොදනී.

දෙවන මාත්‍රාව ලබා දීමට ප්‍රමාණවත් එන්නත් නොමැති බව වාර්තා වීම නිසා කඩිමුඩියේ “එක් මාත්‍රාවක් වුවද ලබා ගැනීමට මම කැමැත්තෙමි“ ගිවිසුමකින් මෙම එන්නත ලබාදී ඇත්තේ දේශපාලක උවමනාවකට බව පැහැදිලිවී තිබේ.
අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ එවැන්නකට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදී නොමැති බවයි.  එවැනි දෙයක් ගැන තමා තවම දන්නේ නැති බවද ඔහු කීය.