karapitiya-pcr-delay

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන වෛරසවේදී රසායනාගාරයේ පී.සී.ආර්. සාම්පල් 5000ක් පමණ ගොඩගැසී ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.



 මෙකී වෛරසවේදී රසායනාගාරයේ පී.සී.ආර්. පරීක්ෂණ යන්ත‍්‍ර ඇත්තේ දෙකක් පමණක් වන අතර දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1000ක් පමණක් සිදුකරයි. දකුණු පළාතේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන එකම රෝහල වන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලයි. මේ නිසා දකුණු පළාතේ ආශ‍්‍රිතයන්ගෙන් ගන්නා පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් යොමුකරනු ලබන්නේ මෙම කරාපිටිය ශික්ෂණ රෝහල වෙතය. මෙම තත්ත්වය නිසා පී.සී.ආර්. පරීක්ෂණවල ප‍්‍රතිඵල ලැබීමේ ප‍්‍රමාදයක් ද ඇති වී තිබේ.
 
 මෙම තදබදය මගහැරෙන තෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරය වෙත පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් භාර ගැනීම තාවකාලිකව නතර කර ඇත.

මේ පිළිබඳව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී.එච්.එස්. ජීවරත්න මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවේය.
 
 පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් ගොඩගැසී තියෙන කතාව ඇත්ත. මෙකී තදබදය මගහැරෙන තෙක් දැනට ලබා ගන්නා පී.සී.ආර්. සාම්පල් කොළඹ නගරයේ පිහිටි රෝහල් දෙකක රසායනාගාර වෙත යොමුකිරීමට කටයුතු කරනවා. තව දින දෙක තුනක් යන විට මෙම ගැටලූවට විසඳුමක් ලැබේවි. කරාපිටිය රෝහලේ රාසායනාගාරයේ පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාවය දිනකට 1500 දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා. අවශ්‍ය අනිකුත් සම්පත් රාසායනාගාර වෙත ලබා දීමට කටයුතු කරනවා.

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි