පාතාල නායකයකු වූ කොස්ගොඩ තාරක නමැත්තා පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගිය ස්ථානය හා මියගිය අයගේ දේහය ඊයේ (13 වැනිදා) පස්වරුවේ අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය නිරීක්ෂණයට ලක් කර මරණයට හේතුව ලබා ගැනීම සඳහා වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ලවා පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලිසියට නියෝග කළාය. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පරික්ෂණ කටයුත්තක් සඳහා මීරිගම රේන්දපොළ ප්‍රදේශයට රැගෙන ආ ධර්මකීර්ති පෙරේරා තාරක විජේසේකර නමැත්තා ඊයේ 13 වැනිදා අලුයම රේන්දපොළ ප්‍රදේශයේ දී ඇති වූ සිද්ධියකින් ජීවිතක්ෂයට පත්විය. සිද්ධිය පිළිබඳව මීරිගම පොලිසිය අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙසේ ස්ථානීය පරික්ෂණය සඳහා පැමිණියාය.
අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද මහතා සිද්ධිය වූ ස්ථානයට මහේස්ත්‍රාත්වරියට පෙන්වා දී සිද්ධිය පැහැදිලි කළේය. කොස්ගොඩ තාරක නමැත්තාට වෙඩි වැදී වැටුණු ස්ථානයත් තුවාලකරු රෝහලට රැගෙන ගිය වෑන් රථයත් නිරික්ෂණය කළ මහේස්ත්‍රාත්වරිය කොගොඩ තාරකගේ ප්‍රකාශ මත සොයාගත් බව කියන ටී 56 ගිනිඅවි හතරක් ඇතුළු දේපළ ද නිරීක්ෂණය කළාය.
ඉන් අනතුරුව මීරිගම මූලික රෝහල් මෘතශරිරාගාරයේ දී කොස්ගොඩ තාරක නමැත්තාගේ මෘත දේහය නිරික්ෂණය කළ මහේස්ත්‍රාත්වරිය එම අයගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා අධිකරණ අත්තනගල වෛද්‍ය නිලධාරීන් ලවා පශ්චාත් මරණ පරික්ෂණයට පවත්වන ලෙසටද එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මීරිගම පොලිසියට නියෝග කළාය. මියගිය කොස්ගොඩ තාරක නමැත්තාගේ ඥාතීන් කිසිවකුත් සහභාගි වී සිටිනු දැකිය නොහැකි විය.
0 Comments