අන්තර්ජාලය ඔස්සේ එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ යෙදී සිටි සිනමාශාලාවක අයිතිකරුවකු එරාවුර් පොලිසිය පසුගියදා(04) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චෙංකලාඩි ප්‍රදේශයේ පදිංචි කනපතිපිල්ලේ මොහාන් හෙවත් තියටර් මොහාන් නමැති 36 හැවිරිදි පුද්ගලයකු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය. ජංගම දුරකතනයක් සහ අයිපෑඩ් එකක්ද සැකකරු ලඟ තිබී පොලිස් බාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
මොහුට එරෙහිව එරාවුර් සහ මඩකලපුව යන අධිකරණවල නඩු 14 ක් පමණ විභාග වෙමින් පවතින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කීය. අධිකරණ නියෝග නොතකා හරිමින් නීතිවිරෝධී ලෙස හර්තාල් ව්‍යාපාර හා පා ගමන් සංවිධානය කිරීම, බස් රථවලට ගල් ගැසීම, රාජ්‍ය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් නඩුද මොහුට එරෙහිව පවතින බව එරාවුර් පොලිසියේ නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී පොලිස් බාරයට ගත් ජංගම දුරකතනයේ සහ අයිපෑඩ් එකේ එල්ටීටීඊය ප්‍රවර්ධනය කිරීමේ ඡායාරූප හා කරුණු ඇතුළත්ව තිබෙන බව පොලිසියට පෙනී ගොස් ඇති බව කියති.
මේවා පරික්ෂණ කිරීමට රහස් පොලිසියේ පරිගණක ඒකකයේ කණ්ඩායමක් ඊයේ එරාවුර් බලා පිටත්ව යාමට නියමිතව තිබූ බවද එම නිලධාරියා පැවසීය. අන්තවාදී අදහස් දරන ඇතැම් ද්‍රවිඩ දේශපාලනඥයන් සමග මොහු කිට්ටු ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු පොලිසියට ලැබී ඇතැයිද සඳහන් වේ. මඩකලපුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට එරාවුර් පොලිසියට හැකි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන එරාවුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
- නිමන්ති රණසිංහ-
0 Comments