මොරටුව අලුත් පාරේ ඉන්ධන පිරවුම්හල අසල මැරි වැටී සිටි නාඳුනන මහලු තැනැත්තා පණ පිටින් සිටියදී බිම දිගේ ඇදගෙන ගොස් පදික වේදිකාවට දමා ගිය සිද්ධියේ ත්රිරෝද රථයේ රියැදුරු ඉකුත්දා (1) අලුයම අත්අඩංගුවට ගත් බවත් අනෙක් සැකකරු සෙවීමට විශේෂ කණ්ඩායමක් යොදා ඇති බවත් පොලීසිය පවසයි.
මියගිය අය කවුරුන්දැයි මෙතෙක් හෙළි වී නොමැති බව සඳහන් කරන පොලීසිය පානදුර දින පොළේ වෙළෙඳුන් පවසන පරිදි ඔහු කාත් කවුරුවත් නොමැතිව බස් නැවැතුම්පොළේ කාලයක් රැඳී සිටි අයකු බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පැවැසීය.බොහෝ දෙනකු මාමා ලෙසින් මියගිය අය හැඳින්වුව ද ඔහු කාගේ කවුදැයි කිසිවකු නොදන්නා බව පොලීසිය පෙන්වා දුන්නේය.
අදාළ ත්රිරෝද රථයේ පැමිණි සැකකරුවකු විසින් මරණකරු ඉන්ධන පිරවුම්භල අසල දමා යෑමත් ඉන් පසුව ඔහු තවත් පුද්ගලයකු විසින් පදික වේදිකාවට ඇද දැමීමත් යන සිදුවීමේ සීසීටීවී දර්ශනවලට අනුව යමින් සිදුකළ පරීක්ෂණයේදී අදාළ ත්රිරෝදරථය සහ එහි රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවැසීය.අත්අඩංගුවට ගත් ත්රිරෝද රථ රියැදුරුගෙන් අනාවරණය වූ තොරතුරුවලට අනුව , මරණකරු බිම දිගේ ඇදගෙන යන සැකකරු පානදුර කෝවිල අසලින් හයර් එකක් යමු යැයි රියට ගොඩ වී පානදුර වෙළෙඳපොළ අසලින් මරණකරු ත්රිරෝද රථයට නංවාගෙන ඇති බව ද පොලීසිය කීය.
මරණකරු රියට ගොඩ වූ මොහොතේ සිටම අදාළ සැකකරුගෙන් කමිසයක් ඉල්ලා ඇති අතර ඔහු එය අරන් දෙන්නම් යැයි පවසමින් මොරටුව දක්වා ත්රිරෝද රථයෙන් පැමිණි බවට රියැදුරු පැවැසූ බව පොලීසිය සඳහන් කළේය.අනතුරුව ඉන්ධන පිරවුම්හල අසල දී දෙදෙනා පිළිබඳව ඇති වූ සැකය මත ඉන්ධන ගැසීමට යයි පවසමින් ඔවුන්ගෙන් රුපියල් සියයක් රියැදුරු විසින් ඉල්ලා ඇති අතර එය ලබාදීමට අපොහොසත් වීම නිසා දෙදෙනාම ත්රිරෝද රථයෙන් බස්සවා තමා එතැනින් ඉවත් වු බව තීරෝද රථයේ රියැදුරුගේ ප්රකාශයේ සඳහන් බව ද පොලීසිය පැවැසීය.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයේදී මරණකරු පදික වේදිකාවට ඇද දමන සැකකරු හෙරොයින්වලට ඇබ්බැහි වූ අයකු බවට තොරතුරු හෙළිවෙමින් පවතින බව සඳහන් කරන පොලීසිය ඔහු මරණකරු හිගමනේ යෙදවීම සඳහා හෝ ඔහු සතු මුදල්ලබාගැනීම වැනි වූ කාරණයක් සඳහා ත්රිරෝද රථයෙන් ඔහු රැගෙන යමින් සිටින්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. ත්රිරෝද රිය පානදුර වත්තපොළ ප්රදේශයේ පදිංචිකරුවකුගේ බව සඳහන් කරනපොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද පැවැසීය. මරණකරුගේ මෘත දේහය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැත්පත් කර ඇතැයි පොලීසිය කීය.
(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා)
0 Comments