negombo-incident

අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15 කට අධික වාහන කොටස් සොරකම් කර සගවා සිටි වඩු කාර්මිකයකු එම වාහන කොටස් සමග ඉකුත්දා අත්අඩංගුවට ගත් බව මීගමුව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති සම්පත් දසනායක මහතා කීය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමට පෙර මෙම වඩු කාර්මිකයා මසකට රුපියල් ලක්ෂ එකහමාරක් පමණ උපයා ඇති බවද පොලිසිය කීය. සැකකරුගේ විශේෂත්වය වූයේ ඔහු විසින් සොරාගනු ලබන්නේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථවල අමතර කොටස් පමණක් වීමය. අත්අඩංගුවට ගත් සැකකරු බදුරලිය ලත්පඳුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයකු බව පොලිසිය කීය. ඔහු මසකට රුපියල් ලක්ෂ 1 කට වඩා ශුද්ධ ආදායමක් උපයා ඇති බවත්, ඔහු ලිසිං ක්‍රමය යටත්තේ මෝටර් රථයක් මිලදීගෙන කුලී ගමන් යාමට පුරුදුවී ඇති බවත් පොලිසිය කීය.

මේ අතර ඔහු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී මෝටර් රථයේ ලීසිං ගාස්තු ගෙවීම පැහැරහැර තිබේ. ඉන් අනතුරුව මුදල් ගෙවීම සඳහා මෝටර් රථවල අමතර කොටස් සොරා ගැනීමට පෙළැඹී ඇති බව පොලිසිය කීය. ඔහු මග නවතා ඇති වාහනවල වටිනා අමතර කොටස් සැනෙකින් සූක්ෂම ලෙස ගලවා පලායාමට මොහු දක්ෂතාවක් දක්වා ඇති අතර මාතර, කොස්ගොඩ ඇතුළු දකුණු පළාත් නගර රැසක නවතා තිබූ වාහන අමතර කොටස් ගලවා ඇති බවත් පොලිසිය කීය. මොහු පසුගියදා කටාන පාර වයි හන්දියේ කණ්ණාඩි සාප්පුවක් අසල නවතා තිබූ වාහනයක කොටස් ගලවා පලාගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් මීගමුව අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලැබූ පුළුල් විමර්ශනවලදී සැකකරු විසින් අදාල මෝටර් රථවල කොටස් ගලවන දර්ශන එම ස්ථානයේ අසල සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සටහන්වී තිබේ.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙනප්‍රශ්න කිරීමේ දී සැකකරු විසින් සොයාගනු ලැබූ වාහනවලට අයත් රුපියල් ලක්ෂ 15 ක පමණ වටිනා වාහන කොටස් සොයාගෙන තිබේ. ලෂ්පඳුර බදුරලිය පදිංචි වැලිමුනිගේ රසාන් චතුරංග (26) නමැති සැකකරු අධිකරණය හමුවට පැමිණ වීමට නියමිතය.

 (මීගමුව අධිකරණ ඩබිලිව්. කීර්ති)