කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ අවධානම් තත්ත්වය හේතුවෙන් නොර්වුඩ් පොලිස් වසමේ පිහිටා තිබෙන ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කටයුතු අද (10) දා  තාවකාලිකව නවතාලීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.


එම කර්මාන්ත ශාලාවේ සේවකයින් 100 ආශ්‍රයෙන් (09) දා  සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ අනුව තවත් ආසාදිතයින් 9 ක් හදුනාගෙන තිබේ. ඒ අනුව එම කර්මාන්ත ශාලාවෙන් හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 22 ක් බවට වැඩි වී තිබේ.


ඒ අනුව ඊයේ (09) දා ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීම සදහා කර්මාත්ත ශාලාව වසා තැබිමට කටයුතු කළ බවත්, එම කර්මාන්ත ශාලා පරිශ්‍රය අද දිනයේ දී විෂභීජානුහරණය කිරිමට උපදෙස් දුන් බවත් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ආර්.චන්ද්‍රරාජන් මහතා පැවසීය.
මෙහි සේවය කරන මුළු සේවක සංඛ්‍යාව 800 පමණ වන අතර එයින් 150 ට වැඩි පිරිසක් මේ වන විට පදිංචි නිවාස තුළ  නිරෝධායනයට ලක්කර තිබේ.
මෙම ඇඟළුම් කම්හලේ සේවයේ නියුතු වුවන්ගෙන් 200 ට පමණ හෙට (11) දින පී.සි.ආර් පරික්ෂණ සිදු කිරිමට සැලසුම් කර ඇති බවත්, එම ප්‍රතිඵල අනුව  නව සැලස්මකට  කර්මාන්ත ශාලාව  විවෘත කිරිම සඳහා පාලනාධිකාරියට උපදෙස් දෙන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්ද්‍රරාජන් මහතා වැඩිදුරටත් කීවේය.

(සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)