මෙරටින් වාර්තා වන දෛනික කෝවිඩ් ආසාදිතයන් ගණන 2500 සීමාව පෙරේදා දිනයේ ඉක්මවා ගියා. මේ තත්වයත් සමග බිම් මට්ටමේරාජකාරී සිදුකරන මහජන සෞඛ්‍ය පරිකවරුන් මුහුණ පා සිටින්නේ දැඩි අසීරු තත්වයකටයි. මේ ඒ සම්බන්ධ කරුණු කාරණා පිළිබඳව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන් බාලසූරිය මහතා සමග සිදුකළ සාකඡාවකි.
●මේ වන විට ලංකාවේ දෛනික ආසාදිතයන් ක්‍රමයෙන් වැඩි වෙන තත්වයක් පෙන්නුම් කෙරෙනවා. මේ තත්වයත් එක්ක රටේ ඉදිරිය මොන වගේ වේවිද?
අලුත් අවුරුදු එන්න කලින් ලංකාවට කෝවිඩ් තුන්වෙනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව අපි දිගින් දිගටම අනතුරු ඇගවා අවුරුදු කාල සීමාවේ යම් සංචරණ සීමාවක් පැනවූයේ නැත්නම් තත්වය බැරෑරුම් වන බව අපි පුන පුනා කිව්වා. අපි බිම් මට්ටමේ නිලධාරින් විදිහට රටේ යථාර්ථය දකින නිසාත්, අපිට තිබෙන සංඛ්‍යා ලේඛණ හා ජනතාවගේ හැසිරීම් රටා ගැනත් සලකලා තමයි අපි එහෙම කිව්වේ. අපි කිව්වා පවතින තත්වය සමනය කරන්න සංචර සීමා පැනවීම අත්‍යාවශ්‍ය බව. නමුත් කියන්න කනගාටුයි එය සිදුවුණේ නැහැ.
අපි දැක්කා දේශපාලන යාන්ත්‍රණය, රජයේ ඉහළ පෙළේ නිලධාරින් හා රජයේ ආයතනවල ඇතැම් නිලධාරීන්ගේ වගකීම් විරහිත ස්වභාවය.මේ නිසා ජනතාවට යම් යම් අනුබල ලැබුණා. ජනතාවත් තමන්ගේ කාර්යභාරය ඉට නොකර වගකීම් විරහිතව කටයුතු කරන්න ගත්ත නිසා මේ ආකාරයට ලංකාවේ තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා.
ඒ අනුව අපි බැලුවොත් ඉදිරි සතිය ඉතාම තීරණාත්මකයි. අපි මැයි මාසයේ දෙවන සතියේ තමයි බලාපොරොත්තු වුණේ අවුරුදු කාලයේ වගකීම් විරහිතව හැසිරීම නිසා අත්විදින්න වන ප්‍රතිඵල. මොකද කිව්වොත් කෝවිඩ් මර්දනය පිළිබද යාන්ත්‍රණයේ ඉහළ පෙළේ කටයුතු කරන අය හදිසි තත්වයක් ඇතිවුනොත් මොකද කරන්නේ. කියන සම්බන්ධයෙන් සූදානම් වීමක් අපි ඒ කාලසීමාවේ දැක්මක් නැහැ. ඒ අනුව මේ ඇති වී තිබෙන තත්වයට සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය දැරිය යුතුයි කෝවිඩ් සම්බන්ධයෙන් කටයුතු කරන වෙනමම අමාත්‍යාංශයක් ඇතිකර තිබෙනවා. ඒ වගේම ඖෂධ ගෙවීම, බෙදාහැරීම, නිෂ්පාදනය සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයක් තිබෙනවා. ඒ අනුව බැලුවාම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඇමැතිවරු තුන්දෙනෙක්ම සිටිනවා. ලේකම්වරු, නිලධාරින්
සෑහෙන පිරිසක් ඉන්නවා. මෙයට සෘජුව වගකිව යුතු වසංගත රෝග ඒකකය විසින් ජනතාවට හරි ආකාර මගපෙන්වීමක් සිදුකළේ නැහැ. වගකීම් විරහිතව තමයි ප්‍රකාශ නිකුත් කළේ. එන්නත පිළිබඳව අධිතක්සේරේවක හිටියා. ඒ මත තමයි අද මේ තත්වය ඇති වෙලා තිබෙන්නේ. ඒ අනුව ඉදිරි සති දෙක ඉතාම තීරණාත්මකයි. දැනට බිම් මට්ටමේ වාර්තාවන රෝගීන් සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය දිගින් දිගටම ඉහළ යමින් තිබෙනවා. ඔවුන්ගේ පවුල්වල අය ගැන බැලුවාම අපිවෙනවා දැක්කේ එක් ආසාදිතයෙක් වාර්තා වුණාම පවුලේ එක්කෙනෙක් විතරයි පොසිටිව් වුණේ. නමුත් දැන් එහෙම නෑ. පවුලේ තුන් හතරදෙනෙක්. පොසිටිව් වෙනවා. ඒ වගේම අපි දැක්කා එකම පවුලේ තුන්දෙනෙක් මියගිය තත්වයක්. මේ වගේ තත්වයක් ලංකාව තුළ වර්ධනය වෙමින් පවතිනවා. අපි කියන්නේ මේ මොහොතේ හරිම දැඩි තීන්දු තීරණ ගත යුතුයි. අපි සර්ව සම්පූර්ණ පොහොසත් රටක් නොවෙයි. නමුත් අපේ රට ආරක්ෂා කරගන්න නම් සෞඛ්‍ය අංශයේ නිසි යාන්ත්‍රණයක් තිබීය යුතුමයි. අඩුම ගානේ දිස්ත්‍රික්ක අතර සිදුවන සංචර සීමා අඩු කිරීමට ක්‍රමවේදයක් ගැනීමවත් දැන් සිදුකළ යුතුයි.
●ආසාදිතයන් ඉහළ යද්දී බිම්මට්ටමේ නිලධාරීන් වන ඔබලාට දරන්න සිදුවන අභියෝගත් ඉහළ යනවා නේද?
අපේ සේවාව ගැන යම් අවබෝධයක් තියන අයට අපි මුහුණ දෙන තත්වය තේරුම් ගන්න පුළුවන්. නමුත් බිම් මට්ටමේදී යම් පුද්ගලයෙක්
ආසාදිතයෙක් බවට හඳුනාගත්තම ඔහුගේ හෝ ඇයගේ මානසික මට්ටම බිඳවැටෙනවා. ඒ අනුව තමන් රෝහල්ගත කරයිද? ගෙදර තියයිද? මාධ්‍ය මගින් පෙන්වන විදිහට හදිසියේම අසාධ්‍ය වේවිද? වගේ ප්‍රශ්න ගොඩක් එක්ක කලබල වෙනවා. මේ නිසා ඔවුන් නිතරම තමන්ගේ ප්‍රදේශයේ මහජන සොඛ්‍ය පරික්ෂකවරුන්ට සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඇතැම්විට ඔවුන් මේ අවස්ථාවේ තවත් රාජකාරියක ඉන්න පුළුවන්. ලංකාවේ 1750ක් විතර තමයි ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වන මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් ඉන්නේ. එවැනි තත්වයක් උඩ අපිට ලැබෙන දෛනික ඇමතුම් ෙප්‍රමාණය අතිවිශාලයි. දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දක්වන්න බැරිවුණාත් වගකීම් විරහිතයි කියලා අපිට චෝදනා නගනවා. ඒ වගේම කියන්න ඕන මේ වෙලාවේ අපි මුහුණ දෙන ගැටලු තමයි රෝගියෙක් වාර්තා වුණත් ඔවුන්ට රෝහලක් හොයා ගන්නේ කොහොමද? ඔවුන්ට ප්‍රවාහනයට ගිලන් රථයක් සොයා ගන්නේ කොහොමද කියන ගැටලුව. ලංකාවේ රෝහල් පද්ධතියේ ධාරිතාව දැන් ඉක්මවා ගිහින් තිබෙන්නේ. පසුගිය දිනවල 16,000ක් පමණ ආසාදිතයන් රෝහල්ගත කර තිබෙනවා.
දිනෙන් දින මේ තත්වය ඉහළ යනවා.ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයන්න අපහසු වෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවල දවස් දෙක තුනක් යනකන් රෝහලක් සොයාගන්න අපහසුතා ඇතිවෙලා තියෙනවා. එවිට ආසාදිත පුද්ගලයා අපිට තමයි නැවත නැවත කතා කරන්නේ. අපිටයි චෝදනා කරන්නේ. සමහරුන් ආවේගශීලීව අපිට කතා කරන්නේ. මේ වනවිට අපිට දැඩි දෝෂාරෝපණ එල්ල කරන්න පටන් අරන් තිබෙනවා. අපිත් මනුෂ්‍යයෝ. මේ වගේ වෙලාවට අපිටත් නුරුස්සන ස්වභාවයක් ඇතිවෙන්න පුළුවන්. මේ වන විට 1990 ගිලන් රථවලටත් දැඩි පරිශ්‍රමයක් දරන්න සිදුවෙලා තිබෙනවා රෝගීන්ට රෝහල්ගත කරන්න. මොකද ගිලන් රථය ඇවිත් ඵලක් නැහැ රෝගියාව රැගෙන යන්න රෝහලක් සූදානම් නැත්තම්. ඒ අනුව අපි රෝගියෙකු වාර්තා වුණාම ප්‍රාදේශීය වසංගත විද්‍යා ඒකකයට දැනුම් දෙන්න ඕන.
නිරෝධායන මධ්‍යස්ථානවලට හා අවට රෝහල්වලට කතා කරලා බලන්න වෙනවා. ඉස්සරනම් ආසාදනය වන සියලුම දෙනාව අරන් ගියා. දැන් එහෙම කරන් නැහැ. ආසාදිතයන් වාර්තා වුණාම පැහැදිලිව පේන රෝග ලක්ෂණ තිබෙන අයවයි දැන් රෝහල්ගත කරන්නේ, ඒවගේම වෙනත් රෝග වලින් පෙළෙන අයට ප්‍රමුඛතාව ලැබෙනවා. මෙහිදී පිරිමි අයට වඩා වැඩි ප්‍රමුඛතාවක් කාන්තාවන්ට ලැබෙනවා. ඒ නිසා පිරිමි අය ආසාදිතයන් වුණාම නිවසේ රැදෙන්න වෙන කාලය වැඩි වෙන්න පුළුවන්. මම සේවය කරන ප්‍රදේශයේ ඉන්නවා දින 09ක් වෙලත් තවමත් රෝහල්ගත කරන්න බැරිවුණ ආසාදිතයන්. අත්‍යවශ්‍යම අයයි මේ වෙද්දී රෝහල්වල ඉන්නේ එහෙම බැලුවාම අපේ නිලධාරීන් එක්ක ජනතාව ගැටෙනවා වැඩියි. අපි මේ විදින දුක ඉහළ නිලධාරීන්ට තේරෙනවා අඩුයි. මම මහජනතාවට කියන්න කැමතියි දැඩි පරිශ්‍රමයක් දරලයි අපි සේවය කරන්නේ. ආසාදිතයෙක් හම්බුණාම ආශ්‍රිතයන් සොයා යන්න ඕන, ඔවුන්ට නිරෝධායනයට යොමු කරන්න ඕන. ඔවුන්ගේ පී.සී.ආර් කරන්න ඕන. විෂබීජහරණය කරන්න ඕන. රෝගීන් රෝහල්ගත කරන්න ඕන, මිය ගියහොත් මරණ වීමර්ශන, ආදාහනාගාර දක්වා යන්න සිදුවෙනවා. ඉතින් මේ වගේ විශාල වැඩකොටසක් අපිට කරන්න සිදුවෙනවා. අපිට දැරිය නොහැකි තරම් රාජකාරි කොටසක් මේ වෙද්දී අපි ආවරණය කරනවා.
●සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් මේ වෙද්දී ආසාදිතයන් බවට පත්වෙලා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනුත් මේ අභියෝගයට මුහුණ දෙනවා නේද?
පසුගිය කාලෙත් අපේ නිලධාරින් ආසාදිතයන් බවට පත්වුණා. කොතරම් වසංගතවේද පාලනය ගැන දැනුමක් හා පුහුණුවක් තිබුණත්, පුංචිම පුංචි අතපසු වීමකින් ආසාදිතයෙක් බවට පත්වෙන්න පුළුවන්. වෙනත් රටවල් එක්ක බැලුවාම වාසනාවට අපේ රටේ සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත රැකිලා තිබෙනවා. අපේ නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ආසාදිතයන් බවට පත්වුණා. දැනට තුන් හතර දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. ඒ වගේම අපේ නිලධාරියෙකුගේ පියා මිය ගියා කෝවිඩ්වලට ගොදුරු වෙලා.
●මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කලකිරීමෙන් සේවයේ යෙදෙන බව ප්‍රකාශ වුණා?
ඇත්තටම අපි අපේ ජීවිත පවා පරදුවට තියලයි මේ සේවාවන්වල යෙදෙන්නේ. එහෙම වෙලත් අපිට අවදානම් දීමනාවක්වත් හිමින්වෙන්නේ නැහැ.
වෙදවරුන්ට, රසායනාගාර නිලධාරින්ට, හෙද හෙදියන්ට මේ දීමනා ලැබෙනවා. මේ වෙලාවේ රටේ ආර්ථිකයට අපහසුයි කියලා අපි දන්නවා. නමුත් අපේ නිලධාරින්ගේ මානසික තත්වය ඉහළ නංවන්තවත් යමක් කරන්න මේ වනතුරු කටයුතු කරලා නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ අපේ නිලධාරින්ට 2020 අගෝස්තු මාසයේ සිට මේ දක්වා ගමන් වියදමවත් ලබා නොදුන් තත්වයක් තමයි තියෙන්. එවැනි දුෂ්කරතා මධ්‍යයේ තමයි අපි මේ තරම් සේවාවක යෙදෙන්නේ. යමෙක් තෘප්තියෙන් සේවයක යෙදෙන්නේ තමන් සේවය කරන ආයතනයෙන් තමන්ව අගය කිරීමකට ලක්කරනවා නම්, අවශ්‍ය පහසුකම් ලබාදෙනවා නම් පමණයි. අපි අමාත්‍යාංශ මට්ටමෙන් බැලුවොත් ඉහළ නිලධාරින් දිගින් දිගටම අපිට කුඩම්මාගේ සැලකිලි දැක්වන තත්වයක් අපි දැක්කා.
නමුත් අපි ඒවත් විදදරාගෙන වැඩ කරද්දී එක පොඩි අතපසු වීමක් වුණත් ජනතාව අපිව විවේචනය කරලා මාධ්‍යයට ප්‍රකාශ ලබාදෙනවා අපි දකිනවා. අඩු සේවක පිරිසකගෙන් තමයි මේ වෙද්දී අපි උපරිම සේවාවක් ජනතාවට ලබාදෙන්නේ, අපේ පවුල්වල අයත් මගහැරගෙනයි මේ සේවාව ලබා දෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් නිලධාරින් තමන්ගේ නිවෙස් වලටවත් යන්නෙ නැහැ. එවැනි කැපවීමක් අපේ නිලධාරීන් මේ වෙලාවේ දරනවා. තමන් සේවය කරදී තමන්ගේ පවුලේ අය ආසාදිතයන් බවටපත්වෙන අවස්ථා තිබෙනවා. ඒ අයටත් සාමාන්‍ය රෝගීන් මුහුණ දෙන ආකාරයටම තමයි සේවා සපයන්න සිදුවෙන්නේ. මේ වන විට බොහෝ දිස්ත්‍රික්කවල ප්‍රවාහන පහසුකම් ලබාදෙන එකත් ගැටලුවක් වෙලා තියෙන්නේ. තමන් සේවය කරන ප්‍රදේශයේ දෛනික රෝගීන් 15ක් විතර වාර්තා වෙන තත්වයක් දැන් තියෙනවා. ඉතින් ඔවුන්ගේ ආශ්‍රිතයන් බැලුවාම 200කට වැඩියි. ඔවුන්ට හොයාගෙන ගිහින් නිරෝධායන කටයුතු වගේ පී.සී.ආර්. කරන්න අවශ්‍යයි. දෙපාර්තමේන්තු මට්ටමෙන් අපිට ප්‍රවාහන පහසුකම්වත් ලබාදෙන්නේ නැහැ. මේ වගේ තත්වයකයි අපි වැඩ කරන්න. අවසානයේ දෙපාර්තමේත්තු මට්ටමෙන් අපිට අගය කිරීමකුත් නැහැ, ජනතාවගෙනුත් පොඩි දේටත් දෝෂාරෝපණය ලැබෙන්නේ. ඉතින් අපි මනුෂ්‍යයන් ලෙස කලකිරීමට ලක්වුණත්, අපි සේවය අතහැර දැමීමක් නැතිව මේ කටයුතු උපරිමයෙන් සිදුකරන්න වග බලාගනිමින් සිටිනවා.
●පසුගිය සති කිහිපයේ එම්බලා සංගමයට විවිධ දේශපාලන පක්ෂ වල ඕනෑ එපාකම් අනුව කටයුතු කරන්න සිදුවූ බවට දෝෂාරෝපණ එල්ල වුණා නේද?
ඇත්තටම අපි දැක්කා අපේ සංගමයේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් ඉලක්ක කරගෙන ඉතා විශාල වශයෙන් සමාජ මාධ්‍ය හරහා ලේබල් අලවත්න හදනවා. අද වෙනතුරු අපේ සංගමයේ කිසිදු නිලධාරියෙක් සංගමය තුළ දේශපාලන මතවාද වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. අපි රට වෙනුවෙනුයි පෙනී සිටින්නේ. පවත්නා රජය වගේම ඉදිරියේදී එන රජයත් එක්කත්, ඕනෑම සෞඛ්‍ය අමාත්‍යවරයෙක් එක්කත් අපි වැඩ කරන්න සූදානම්. අපි ඕනෑම කෙනෙක් එක්ක අපේ ප්‍රශ්න කියන්නෙ, අපේ ඉල්ලීම් දිනාගන්න සාකච්ඡාවලට යන්න පුළුවන්. ඇත්ත මොකක්ද කියලා නොදැන බොහෝ දෙනා අපිට ලේබල් අලවන්න පුළුවන්. නමුත් අපි රට වෙනුවෙන් හැමදාම දත්ත දක්වා, ඇත්ත තොරතුරු ගෙන එනවා.
මොනවා කරලා ඇත්ත යට කරන්න හැදුවත් ඇත්ත කවදාවත් හංගන්න බෑ. මාර්තු මාසේ අපි කිව්වා තුන්වෙනි රැල්ලක් එනවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා.පී.සී.ආර්. කරන එක අඩු වුණා. ජනතාවට නිදහසේ කටයුතු කරන්න අවශ්‍ය වටපිටාව ඇතැම් විද්‍යුත් මාධ්‍ය හරහා සකස් කර දුන්නා. රටේ වසංගත තත්වයක් තිබෙන බව අමතක කරලා රෑ රැජින කිරුළ වගේ අනවශ්‍ය දේවල්වලට වැඩි අවධානයක් ලබාදුන්නා. ඒ වගේ දේවල් හරහා ජනතාවගේ මනසින් වසංගතය ගැන තිබෙන අවධානය ඉවත් වුණා. නමුත් අපි හැමදාම මේ තත්වය මත රටට ඇතිවෙන්න තිබෙන අවදානම ගැන කතා කළා. එය ඊයෙත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි.
(නදිශාණි පතිරණ)
0 Comments