port-city-lock-down-parliament

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 18 වනදා සිට මැයි 20 වනදා දක්වා දින 03ක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 13 සවස පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.


කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මැයි 19 සහ 20 යන දෙදින තුළදීම විවාදයට ගැනීමට තීරණය විය.
ඒ අනුව මැයි 19 වැනිදා පෙ.ව 10.00 සිට පස්වරු 5.30 දක්වාත් මැයි 20 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වාත් ඉහත විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
මැයි 19 සහ 20 යන දින දෙක තුළදී මන්ත්‍රී වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් නොකෙරෙන බවද මහලේකම්වරයා දන්වා ඇත.
මීට ඉහත රට පුරා ඇදිරි නීතිය පැනවූ සතිඅන්ත අවස්ථාවක මෙම පනත ගැසට් කළ අතර ඒ සමග එළැඹි සදුදා දිනයේ ලැබුණ කෙටි විරාමය තුළ ඊට එරෙහිව අධිකරණයට පෙත්සම් ගණනාවක් යොමු විය.
පාර්ලිමේන්තුවට මුදල් බලය නැතිවන ආකාරයට සම්මත කරන්නට යන වරාය නගර පනත් කෙටුම්පත පිළිබද එහිදි විරෝධය පෑ අතර එමගින් ලංකාව තුළ වෙනම රාජ්‍යයක් චීනය පිහිටුවන්නට උත්සාහ කරන බවටද විවේචන මතුවිය.
පාර්ලිමේන්තුවට බලය නැති අධ්‍යක්ෂ මන්ඩල පත්කිරීමට මෙම පනත මගින් විධිවිධාන සලසා ඇති අතර ඒ ගැනද විරෝධය පළව තිබේ.
කෙසේ වතත් අධිකරණය මේ සම්බන්ධයෙන් ලබාගත් තීරණය තවම පාර්ලිමේන්තුවට දැනුම් දී නැත.

හෙට (18) දිනයේදී වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අනතුරුව 19 හා 20 දින විවාදයට ගන්නා අතර 20 වනදා සන්ධ්‍යා කාලයේ එය සම්මතවීම සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් විපක්ෂයට හා මහජනතාවට ඒකරාශිවී විරෝධය පළකිරීමට අවස්ථා අවුරා ඇත. ඒ සමගම අධිකරණ නිවාඩුද වැටී ඇත.
මැයි 21 වෙනිදා රාත්‍රී 11.00 සිට මැයි 25 වෙනිදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවන බව  යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා ඇත.
 එමෙන්ම මැයි 25 වෙනිදා රාත්‍රී 11 සිට මැයි 28 වෙනිදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා තිබේ.