puttalam-incident

පුත්තලම , කොට්ටුකච්චිය උස්බිම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ වැඩසිටි විහාරවාසි හිමිනම හදිසියේ ආචාස ගෙය තුළ අපවත්ව සිටියදී  ඉකුත් 29 වැනිදා හමුවී ඇතැයි පුත්තලම පොලිසිය කියයි. මෙසේ අපවත් වී ඇත්තේ කැකුණදුර ධම්මරන්න නැමති වයස අවුරුදු 63ක හිමිනමක බව කියයි.   මෙම භික්ෂුව වසර දෙකකට ආසන්න කාලයක් විහාරස්ථානයේ වැඩ වාසය කරමින් ඇති බවත් දායකයෝ පවසති. 

ඉකුත් 29 වැනිදා උදේ හා දහවල් දානය රැගෙන ගිය දායකයන් විහාරස්ථානයේ  මුළුතැන්ගෙය ආසන්නයේ  තබා ගොස් ඇති බවත් විහාරවාසි හිමියන් පිළිබඳව නිසි සොයා බැලීමක් සිදුකර නැති බවත් කියයි.

එහෙත් ඉකුත් 29 වැනිදා සවස ගිලන් පස රැගෙන ආ පිරිසක් හිමියන් පිළිබඳව විපරම් කර බලද්දී ආවාස ගෙය තුළ ඇද වැටි සිටිනු දැක ගම්වාසීන්ට දන්වා ඇත. පසුව පුත්තලම පොලිසිය පැමිණ මරණය සම්බන්ධ පරික්ෂණ ආරම්භ කර තිබිණි.  ඒ සමගම පොලිස් අපරාධ ස්ථානීය නිලධාරිහු ද පැමිණ පරික්ෂණ ඇරඹූහ.  ආවාස ගෙය තුළ මරණයට පත්ව සිටි  හිමියන්ගේ මරණ පරික්ෂණය පුත්තලම හදිසි මරණ පරික්ෂක නන්දන විමලවීර මහතා විසින් පවත්වනු ලැබූ අතර දේහය පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරිමටත් එහි ජෛව පටල පරික්ෂණයක් ද පැවැත්වීමට කටයුතු කිරිමට පොලිසියට උපදෙස් ලබා දී තිබිණි. මෙම හිමිනම අධික සෙම් රෝග හා හෘද රෝග සඳහා නිරන්තරයෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවට පොලිස් පරික්ෂණවලදී සනාථ වී තිබේ.


 -හිරාන් ප්‍රියකර ජයසිංහ -