puttalam-mayor-death

පුත්තලම නගරාධිපති කේ. ඒ බායිස් මහතා ඊයේ හදිසි අනතුරකින් මියගිය බවට වාර්තාවූ අතර මේ වනවිට සිදු කෙරෙන පරීක්ෂණ අනුව එය බීමතින් සිදු කළ අපරාධයක් බවට කරුණු  අනාවරණය වෙමින් පවතී.  මේ නිසා මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට ඔහුගේ රියදුරු සහ  කැබ් රථයේ සිටි පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නගරාධිපතිවරයා තවත් පිරිසක් සමග රාල්මඩුව වැවෙන් ස්නානය කර කැබ් රථයේ පිටුපස ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී ඉන් පිටතට විසිවීමෙන් හෝ වෙනත් ක්‍රියාවක් සිදුවී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. රාල්මඩුව ප්‍රදේශයේ නගරාධිපතිවරයාට අයත් පුද්ගලික ඉඩමක් පිහිටා ඇති අතර ඔවුන් ස්නානය කර ඇත්තේ එම ඉඩම පසෙකින් පිහිටි වැවේහිය.

එම අවස්ථාවේ මත්පැන් පානය කර ඇති බවද හදුනාගෙන තිබේ. ස්නානය කර නැවත නිවසට පැමිණෙන අවස්ථාවේ නගරාධිපතිවරයා පැමිණ ඇත්තේ  කැබ් රථයේ පිටුපස තට්ටුවේ වාඩිවී ගෙනය..කැබ් රථය අතුරු මාර්ගයකින් පුත්තලම එළුවන් කුලම මාර්ගයට වේගයෙන් හරවන ලද අවස්ථාවේ නගරාධිපතිවරයා විසිවී ගොස් ඇතැයි කියැවේ. ඔහුගේ මුහුණ පොළවේ වැදී බරපතල තුවාල සිදුව ඇති අතර පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන්නට පිරිස කටයුතු කළ මුත් ඒ වනවිටත් මියගොස් ඇතැයි හදුනාගෙන තිබේ.


පොලීසිය විසින් සිදුකරන ලද ස්වසන වායු පරීක්ෂාවේදී රථයේ ගමන් කළ අය බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබේ.
අනතුර සිදුවී ඇත්තේ ඊයේ සවස 5.30ත් 6.30ත් අතර කාලයේදීය.
මියගිය කේ. ඒ බායිස් මහතා පුත්තලම නගරාධිපති ධූරය දරන්නට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙසද කටයුතු කර තිබූ අයෙකු විය.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.