ramsh-pathirana

ඉතාම කෙටි කාලයකින් රෝහල්වල ඇඳන් ප්‍රමාණය 3,000කින් වැඩි කිරීමටත්, දැඩි සත්කාර ඒකකවල ඇඳන් ප්‍රමාණය 47කින් වැඩි කිරීමටත් පියවර ගත් බව සම කැබිනට් ප්‍රකාශන, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. ඒ අනුව දැනට 14,455ක් වන රෝහල් ඇඳන් ප්‍රමාණය 3,000කින් ඉහළ නැංවෙන බවත්, දැඩි සත්කාර ඒකකවල ඇඳන් ප්‍රමාණය 58 සිට 105 දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (04දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඒහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, 1906 යන විශේෂිත දුරකථන අංකයට ඇමතීමෙන් පී.සී.ආර්. පරික්ෂණය මගින් රෝගය හඳුනාගෙන මේ වන විට නිවෙස් තුළ රැදී සිටින රෝගීන් වහාම රෝහල් කරා. ගෙන යාමේ වැඩපිළිවෙළක් ආරම්භ වී ඇති බවයි. පී.සී. ආර්. පක්ෂණ මගින් කෝවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ට එම දුරකථන අංකයට අමතා ඉතා ඉක්මනින් රෝහලක් වෙත යොමු වීමේ අවස්ථාව ලබාදී ඇති බවද ඒ මහතා පවසා සිටියේය. එසේම ඉන්දියාවෙන් ලබාදුන් එන්නතේ මාත්‍රා 345,000ක ප්‍රමාණයක් රජය සතුව තිබෙන බවත්, මේ වන විට ඉන්දියාවේ ඇතිවී තිබෙන අර්බුදය හමුවේ මෙම එන්නත ලබාගත් වෙනත් රටවල් මගින් ඔවුන්ගේ අතිරික්තව තිබෙන එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත් රමේෂ් පතිරණ මහතා පැවසීය.