කොරෝනා රෝගයෙන් බේරීම සඳහා ධීවර බෝට්ටුවල නැගී ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පැමිණිම ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් එල්ලවිය හැකි තත්වයක් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. කොරෝනා වැළඳුණු ඉන්දීය ජාතිකයන් නිරෝධායනය කිරිමේ පැකේජය ද ආණ්ඩුව විසින් හඳුන්වා දී ඇති බව කී රංග බණ්ඩාර මහතා මේ ආණ්ඩුව දැන් කොරෝනා රෝගයද විකුණමින් සිටින බව කීය.
පුත්තලම - මදුරන්කුලියේ පැවති මාධ්‍ය හමුවකදී රංගෙ බණ්ඩාර මහතා මෙසේද ප්‍රකාශ කළේය.
රටේ මෙතරම් රෝගය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතු යැයි අප මුල සිටම පැවසුවා. බ්‍රිතාන්‍ය වයිරස් ප්‍රභේදය ලංකාවට ඇතුළු වී ඇති හෙයින් ඉතා අවදානම් තත්වයකට මුහුණදීමට සිදුවෙන බව සෞඛ්‍ය විශේෂඥයන් අප්‍රේල් අට වැනිදා ආණ්ඩුවට දැනුම් දුන්නා. එසේ දැනුම්දී තිබියදීත් ආණ්ඩුව වයිරස් ප්‍රභේදයේ ඇති භයානකකම තඹ සතයකට නොසලකා මිනිසුන්ට නිදහසේ ඕනෑ ආකාරයට හැසිරෙන්නට ඉඩ දුන්නා. ජනතාව පොදිකමින් සාප්පු සවාරි ගියා. නුවරඑළිය වසන්ත සැණකෙළි පැවැත්වුවා. දිවයිනේ හැම අතින්ම ජනතාව නුවරඑළියට ගියා. ජනතාව සෞඛ්‍ය නීති රිති පසෙක තබා අවුරුදු උත්සව පැවැත්වූවා. විනෝද සමය වගේ අවුරුදු සැමරුවා.
බ්‍රිතාන්‍ය වයිරස් ප්‍රභේදය ලංකාවට පැමිණ ඇති බව දැන දැන ආණ්ඩුව එය පාලනය කරන කටයුතු කළේ නැහැ. කලින් brandex පොකුරු, පෑලියගොඩ පොකුර නිර්මාණය වුණා වාගේ දැන් පොහොට්ටු පොකුර නිර්මාණය කරලා. විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රෝගයට ගොදුරු වෙමින් සිටිනවා. ආණ්ඩුවට දැන් හරියාකාරව පී.සී.ආර්. පරික්ෂණ කරගන්නවත් හැකියාවක් නැහැ. මේ අතර ඉන්දීය ජනතාව සඳහා විශේෂ නිරෝධායන පැකේජ හඳුන්වා දීමටද ආණ්ඩුව සූදානම් වෙනවා. මුදලට ඉන්දියානුවන් නිරෝධායනය කිරීම සඳහා මෙහි ගෙනෙන්නට සූදානම් වෙනවා.
ඉන්දියාවේ කොරෝනා නොසෑදුන නිවෙසක් සොයා ගන්න අසීරුයි.
ඒ තරමට රට විශාලා මහනුවරක් බවට පත්වෙලා. ගාල්ල, වතුරුගම, ගම්පහ, කිඹස, නුවරඑළිය, තංගල්ල, මීගමුව, මහනුවර, අහංගම, කොළඹ, සීගිරිය, දඹුල්ල, බෙන්තොට, හම්බන්තොට, තිස්සමහාරාම, දෙනියාය ප්‍රදේශවල බංගලා, නිවාඩු නිකේතන, සුපිරි හෝටල්, සංචාරක අධිකාරියට යටත්වන ගොඩනැගිලි නිරෝධායන කටයුතු සඳහා වෙන් කරවීමට පියවර ගන්නා බවට තොරතුරු තිබෙනවා. නොයෙක් මිල ගණන්වලට මෙහි පැත්තේ විවෘත කර තිබෙනවා. එක් පුද්ගලයකුට දින පහළොවකට ඇමෙරිකා ඩොලර් 690ක් හෙවත් රුපියල් එක් ලක්ෂ තිස්හය දහසක පැකේජයක් ද දින 16ක් සඳහා දෙලක්ෂ අසූ එක් දහසක පැකේජෙයක් ද හඳුන්වා දී තිබෙනවා.
මේ ආකාරයේ තවත් පැකේජ කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා. මේ මිල ගණන් පිළිබද සම්පුර්ණ විස්තරයක් පුවත්පත් පවා වාර්තා කර තිබුණා. මීට අමතරව ධීවර බෝට්ටුවල නැගී ඉන්දියානුවන් ද ලංකාවට අනවසරයෙන් පැමිණිලා. පුත්තලමෙන් එවැනි තුන්දෙනකු හොයාගෙන තිබෙනවා. මෙය රටේ ජාතික ආරක්ෂාවටද තර්ජනයක් බව කිව යුතුයි.
-අංජුල මහික
0 Comments